ආදරය සුන්දර වදනකී...ලොවක් සනසන්නට හැකි.

ලෝකය පුබුදු වන්නට සෙනෙහස ඕනේ...සෙනහස නොමැති තැන ලෝකයකුත් නෑනේ...

කැකිල්ලේ රජ්ජුරුවෝ...දෙවන දිගහැරුම...

එදා විත්ති මෙදා තාලෙට....

...උසස් දේ සරලයි...

...උසස් දේ සරලයි...ඇත්තටම ඒක එහෙමද?

Saturday, September 29, 2018

සටහන


                                                                 අද...2018.09.28 වෙනිදා...මේ සටහන තබන්නෙ ටිකක් විතර දුක මුසු සතුටකින්...එක වෙලාවකට මට හිතෙනවා දුක හිතෙන්නෙ මගේ තියෙන ආත්මාර්ථකාමිකම හින්ද කියලා...ආයතනයේ එකට වැඩ කළ කෙනෙක් අද අයින් වෙලා යනවා...ආශ්‍රය කළේ මාස හත අටක් වගේ සුළු කාලයක් වුණාට,සෑහෙන හිතට වැදුණු චරිතයක් කිව්වොත් නිවැරදියි.බුද්ධිකඅයියා...නොදන්න දෙයක් ඇහුවම වෙන උන් වගේ නැතුව...ලොකු කමක් පඩත්තල ගතියක් නැතුව දන්න දේ කියල දීපු හිත හොඳ කොල්ලෙක්...ගිය එකෙන් වැඩිම පාඩුව මට...හදිස්සියට දෙයක් අහගන්න කෙනෙක් නෑ දැන්...ඒකයි දුක...ඒ මගේ ආත්මාර්ථකාමිත්වය වෙන්න පුළුවන්...ඒ වගේම හිතට සතු‍ටුයි...ඒ මොකද ඔහු ගියේ ඔහුගේ අනාගතයට වඩා හොඳ පදනමක් හදා ගන්න..."මල්ලි...ප්ලෑන් එකක් ඇතුව වැඩ කරපන්..."නිතරම කිව්වෙ එහෙම...සුබ පතනවා හදවතින්ම... ඔහුගේම වචන වලින් ඉවර කරනවනම්..."එහෙන් මෙහෙට්ට,මෙහෙන් එහෙට්ට එහෙට්ට මෙහෙට්ට යනවට වඩා හොඳයි එක ස්ථිර තැනක ඉන්න එක..."
Live & Let Live...

Thursday, September 27, 2018

කැකිල්ලේ රජ්ජුරුවෝ...තෙවන දිගහැරුම...


මහරජ තුමාගේ ප්‍රශ්නයේ සිට ඉදිරියට...


"නැත මහ රජාණෙනි...මම නොදන්නෙමි..."
"එම්බා දුෂ්ට අසත්පුරුෂය...තා විසින් සිදුකර ඇත්තේ මහ බරපතල අපරාධයකි..."
"අහෝ දේවයන් වහන්ස...මම එය නොකළෙමි..." පිටි කඩේ අයිතිකරු හඬා වැටෙන්නට විය.
"තා විසින් කළ වරදවත් නොදන්නා බව තා මින් පෙර පැවසුවා නොවේද?දැන් නොකළ බවට විලාප දෙන්නේ කුමන වරදකටද?මුසා නොදොඩා හි‍ටු..."මහ රජතුමා උදහස් වුණා.
"නඩු භාර නිලධාරී..."
රජතුමාගේ අණින් නඩුභාර නිළධාරි තැන කරුණු පැහැදිලි කරා...
"එම්බා පිටි කරුව,තා විසින් විකුණන නරක් වූ,කෑමට නුසුදුසු වූ පිටි නිසා අහිංසක යුවළක් මහා විපත්තියක ට මුහුණ පා සිටී.එසේ නරක් වූ පිටි විකිණීමට හේතු කියනු...නැතහොත් තගේ හිස ගසා දමමි..."
"නඩු භාර නිළධාරි..." රජතුමාගේ හඬ උස්ව නැගී ආවේ වයර් මීයො කාපු Sub-Woofer එකක වගේ...
"තට නියමව ඇත්තේ නඩු අඬ ගැසීමයි.දඬුවම් පැමිණවීම මාගේ කටයුත්තකි...තමන්ගේ වැඩක් බලා නොගෙන අනුන්ගේ දෙයට හොම්බ දැමීමට පාඩමක් ලෙස මෝල් ගස් පහර පහක් හා Iodex කුප්පියක් නියම කරමි...හොට දිග පිළිහුඩුවා..."රජතුමා නියම කළා...
"පස්වාන් දහසකට සමාවන්න දේවයන් වහන්ස..."
"තව මෝල්ගස් පහර දෙකක් නියම කරමි..."
"ඒ කිම්ද මහරජාණෙනි?"
"මම තට පැවසුවා නොවෙද ඔය වදන් පෙළ නොදොඩන ලෙස..."
"රාජ පුරුෂයනි,නඩුවාරයෙන් පසු දඬුවම් ක්‍රියාත්මක කරව"
"දැන් කියනු...ඇයි තොප එසේ නරක් වූ පිටි විකිණුවේ...?"
"මහ රජතුමනි,මා විසින් මේ හිතාමතා කළ දෙයක් නොවේ...මගේ පිටි ගබඩා කාමරයේ ඇතැම් තැන් වැස්සට තෙමේ...එනිසා මෙසේ පිටි නරක් වූ බව මට සිතේ මහ රජතුමනි."
"ඇයි තොප දමා ඇත්තේ Rhino වහලක් නොවේද?"රජතුමා ප්‍රශ්න කළා.
මේ අසා සිටි භාණ්ඩාගාර භාර නිලධාරියා රජුට ලංවී මෙසේ කීවා...
"අවසරයි මහරජතුමනි, Rhino ලා අපට ගෙවිය යුතු අයබදු පැහැර හැරලා ස්වාමීනි.ඔවුන් ගැන මෙසේ උසස් කොට කතා කිරීම නොහොබී..."
"එසේද? Rhino ගැන මම පස්සෙ බලා ගන්නම්"යි කී රජතුමා මඳ කල්පනාවකට වැ‍ටුණා...
"පෙනෙන ලෙසට නම් වරද ඇත්තේ මොහු අත නොවන බව පෙනේ...කුමක් කළ යුතුද?"යි කල්පනා කළ රජතුමා මෙසේ ඇසුවා...
"තොපේ ගබඩාවන් එසේ තෙමෙන්නේ මන්ද?"
"මහ රජතුමනි, මගේ ගබඩාවේ වහලේ උළු සෙවිලි කළ උළු බාස් එය හරියට කරල නෑ.එනිසයි ගබඩාව තෙමෙන්නේ උතුමාණනි..."පිටි කරුවා හඬමීන් පිළිතුරු දුන්නේ අති උත්තම කැකිල්ලේ නරේන්ද්‍රයානන්ගේ තීන්දු තීරණ මොන පැත්තට කැරකේදැයි කියන්නට ශක්‍ර ගේ Son වයිමාටවත් බැරි බව දැනසිටි නිසාවෙනි.
"තම රාජකාරිය හරි හැටි ඉ‍ටු නොකරන මෙවන් කාලකන්ණි පුද්ගලයින් මාගේ රාජධානියේවත් සිටීම නුසුදුසුය"කී රජතුමා එම උළුකරුවා ‍රැගෙන ඒමට රාජපුරුෂයන්ට අණ කළා.
මේ අතර තරුණ වියේ කොල්ලෙකුව රාජපුරුෂයන් විසින් ‍රැගෙන ආවා...
"මොහු කවරෙක්ද?"රජතුමා ඇසුවා...

ඒ අරගෙන ආවේ කාවද? කව්ද ඒ...? මොනව කරපු කෙනෙක්ද? ඊළග කොටසින් හමුවෙමු...‍රැඳී සිටින්න අප සමගම...


Tuesday, September 25, 2018

කුමරියක පා සළඹ සැලුණා...

හ්ම්..කොහොමද ඉතිං..?මැදියම් ‍රැයට ආසන්න මේ මොහොතේ අමුතුම සීතලක් පරිසරය වෙලාගෙන තියෙනවා...‍රැහැයි හඬ දෙසවන් පුරා පැතිරිලා...මේ සොඳුරු රෑ යාමේ මගේ සිතත් අවදි වෙලා...ඇත්තටම මේ වගේ වෙලාවට තමයි යටි හිතේ සැඟවුණු සැඟවුණු සොඳුරු හැඟුම් උඩු සිතට එබිකම් කරන්නේ...රස්සාවේ වැඩ වලින්  හෙම්බත් වුණු මනසට සුවයක් දෙන්න හිතාගෙන ගීතයක් අහන්න ගත්තා.අමරදේව මහත්තයගේ සින්දුවක්.ඔය වම්පැත්තට වෙන්න පේන්නේ ඒ සිංදුව තමයි.
                                            ඇ‍ඳෙන් නැගිටල ගිහිල්ල කොළයක් අරගෙන නිකමට ගනන් හදල බැලුවා මම.මේ ලෝකේ මේ වෙද්දි දවස් 7253 ක් මම මේ මිහි තලය උඩ ගත කරල තියෙනවා...අවුරුදු 19 ක් කියන්නේ බොහොම පොඩි කාලයක් කියල හිතෙන්නෙ ඒ වෙලාවට...
                                                                ඒ ගත කළ අවුරුදු දහ නවය පුරාවටම මම අහපු සුන්දරතම ඒ වගේ ශෘංගාරතම ගීතය මේ ගීතය බව කිව්වොත් නිවැරදියි මම හිතන්නෙ...මේ සින්දුව මුල්ම වතාවට අහන කොට මගේ හිතේ ඒ හැටි පැහැදිලි ගතියක් ඇතිවුණේ නෑ.ඒත් තව දෙපාරක් තුන් පාරක් මේ සිංදුව අහද්දි තමා මට ගීතයේ කියවෙන දේ ගැන හිතෙන්න ගත්තේ...සිංදුවෙ පද ගැලපෙන තාලයට ඒ පිළිවෙලට මගේ හිතෙත් රූප මැවුණා...බලමු ඔයාලටත් එහෙමද කියලා...මේ මට හිතුණ හැටි.
                                            නව යොවුන් වියේ තරුණයෙක්..තම ස්වාභාවික රාග සිත උත්සාහයෙන් යටපත් කළ තරුණයෙක්...ඒ වගේ කෙනෙක් ගැන රූපයක් මගේ හිතේ මැවෙන්න ගත්තා."කුමරියක පා සළඹ සැලුණා...වසා සිටි නෙතු පියන් ඇරුණා..."  'වසා සිටි නෙතු පියන් ' ඒ කිව්වේ රාගයට කවුළු පියන් වසා සිටි ඔහුගේ සිත ගැනද?අනේ මන්දා...මෙතුවක් කල් සමාජය හා නොගැටි ආශාවන් වලට විවර නොවූ ඔහු සිත මේ තරුණියගේ පිය හඬින් විවර වෙලා..."කුමර බඹසර අසපුවේ මා සමවැදි උන් දැහැන් බිඳුණා..." 'කුමර බඹසර අසපුව' හරිම ලස්සන වචනයක්...සාමාන්‍යයෙන් අහන්න ලැබෙන්නේ කුමරි බඹසර ගැන...ඒත් මේ තරුණයාගේ හිත...? අසපුවක් වගේ...තමන්ගේ නොකැලැල් හිත කැළඹී ගිය වග නේද මේ තරුණයා කියන්නේ අපට...
                                                             හදිසියෙම හැඟුම් අවදි වූ මේ තරුණයාට ඒ හැඟුම් පාලනය කර ගන්න නොහැකිව අන්ද මන්ද වූ ස්වාබාවයක් තමා මටනම් දැනෙන්නේ... "උකුළ ළැමහස මලවි කරළිය...මුවා කළ ඇගේ දුහුල් සළුතිර..." තමා දකින මේ තරුණියගේ...ඇත්තම කිව්වොත් ඔහු මේ දකිනවා නෙවෙයි...අර සලඹ සැලෙන හඬ අනුව මේ තරුණයාගේ හිතේ ඇතිවන හඟීම් නිසා ඔහු මනැස දකින රූපයයි මේ ඔහු මෙලෙස සිත්තම් කරන්නේ...පුළුල් උකුළ...පිරුණු ළැම...ඔහු සිත වශී වෙලා ඉවරයි එයට...කොහොමටත් ඉතිං කෙල්ලෙක්ගේ වඩාත්ම හඟීම් දනවන අංගයන්නේ මේවා...නේද...? මේ ගීතයේ හරිම ලස්සන රූපකයකුත් දීල තියෙනවා..."මලවි කරළිය" මල් අවි දරන්නාගේ වේදිකාව...මල්සරා...එහෙම නැත්තං අනංගයා..(මේ දෙන්නම එක්කෙනෙක්ද ඇත්තටම...අනේ මන්දා...? මට හිතෙන්නෙ නං එහෙම...)මේ කියන්නෙ ළැම ගැනද?නැත්තං වෙන තැනක් ගැනද...?ඒකනම් මටත් හරියටම අදහසක් නෑ...කොහොම වුණත් පාසළඹ සැලෙන හඬින් ඔහු සිත මැවෙන රූපය ඉතාමත් අකර්ෂණීය බව නම් කියන්න පුළුවන්...

      ඉතිං එහෙම හිතේ මැවෙන ස්ත්‍රී රූපයේ සළු ඔහු මනසින් ඉවත් කරනවා...කොටින්ම කිව්වොත් මූ ඒ කෙල්ලව හිතින් නිරුවත් කරනවා. "මුවා කළ ඇගේ දුහුල් සළුතිර...විවර කෙරුවා මනැස් සළෙලුන්..." මේ කියන්නේ අර කළින් මට හිතුනු දේමද? නැත්තන් ඇගේ දුහුල් සළුතිර විසින් ඔහු මනසේ සැඟවී සිටි සල්ලාලයාව අවදි කළ බවද මේ කියන්නේ..ඔන්න ඔන්න... ඒ පාර මගේ හිත මාව පටලවනවා...මම මුලින් කියපු එක හරි කියල ගන්නව...මේ මොහොතේ මේ තරුණයා සිටින්නේ මනස නැමැති සළෙලාගේ ග්‍රහණයට අසුවෙලා...ඔහු මේ මනසින් නිරුවත් කරපු ස්ත්‍රී රූපය ඔහු සිතට රසඳුනක්..දෙව් ලොවක් බඳු සැපක්...ඈ දෙව් ලියක් වගේ..ඔහු සිතට දැනෙනවා...දෙව් ලොවක් හා සමාන සැපයක් මේ තරුණයා විඳිනවා මේ වෙලාවේ..."මා අභියස මැවුණු තුසිතය...සුරන් නැලවූ ස්වයාමය..."කියල කිව්වේ ඒකයි මගෙ හිතේ.


                                                  මේ සිද්ධියෙන් පසුව මේ තරුණයාගේ සිතේ ඇතිවූ කැළඹීම,උද්වේගය ඊලඟ පද පෙළින් හොඳට විස්තර වෙනවා..."නිසල ජීවන තපෝ වන මැද...හැඟුම් ගජසෙන් යදම් බිඳ වැද.."ඔහුගේ නිසංසල ජීවිතයට,ඒ තපෝ වනයට හැඟුම් නැමැති ඇත් සේනාව යදම් කඩා බිඳ දමා වියරුව පැමිණි සැටි...යදම් ලූ ඇත් සේනාව...ප්‍රබල රාග සිත උත්සාහයෙන් දමනය කොට මෙතෙක් වේලා ‍රැකගත් අයුරු හඟවන සංකේතයක්ද කියලත් හිතෙනවා...පැමිණ මුලු ජීවිතයම සලිත කර කම්පනය කර දැමූ සැටි...පෙර විඳි දෙව් සැප දැන් කොයිද...? දැන් ඉතිරිව ඇත්තේ ලතැවිල්ල පමණයි...පසුතැවීමක් විතරමයි...ඒත් ඒ ඇයි...මට හේතු කීපයක්ම සිහියට එනවා...

                                                      තමා මෙච්චර කාලයක් ආරක්ෂා කරගත් ඒ නිර්මල සිත...උත්සාහයෙන් රග සිත යටපත් කල ඒ අසපුව...ඉතා සුළු දෙයකින්...පාසළඹක හඬින් පමණක් කැළඹි විසිරී කම්පනය වී බිඳී යාම නිසා ඇතිවූ ලැජ්ජාව මුසු කළකිරීමද මේ...නො එසේ නම් රාගයේ ඉස්මත්තටම පැමිණ ඇතිවූ හතිවැටීමක් වගේ දෙයක්ද...?එහෙම දේවලුත් වෙනවනේ...ඔය අපිටත් සමහර දේවල් කරල ඉවර වුණාම ඔක්කොම එපා වෙලා යන හැඟීමක් එන්නේ..අන්න ඒ වගේ.ඕනෙම දෙයක් ඔනෑවට වඩා එපා කියනවනේ...

                                                                 මට තවත් හිතා ගන්න පුළුවන් එකම එක හේතුවයි.ඒක ටිකක් හිනායන එකක්.මේ තරුණයා මේ ඔක්කොම දේවල් හිතා ගත්තේ,ඇඳුම් ගැලෙව්වේ,ආදරය කළේ අර කෙල්ලගේ පාසළඹ ගැටෙන හඬ ඇහිලනේ...නමුත් ඒ කෙල්ලෙක් නෙවෙයි නම්...වෙන මොකෙක් හරි එකෙක් පාසළඹක් එහෙම නැත්තං ඒ වගේ වෙන මොකක් හරි එකක් හොල්ලල නම්...එහෙනම් ඒ බව ඒ තරුණයා දැනගනිද්දි ඔහුට මොනවා හිතෙන්න ඇද්ද?අපේ විදිහට කියනවනම් පොළව පළාගෙන යන්න හිතෙන්න ඇති...නේද...?තමන් දෙව් ලොවකට උපමා කළේ මේ කොහෙවත් යන එකෙක්ගේ හිස් සද්දයක් බව දැනුනාම...මම නම් හිතන්නේ ඒක තමයි හොඳම හේතුව.

                                  හ්ම්...කොහොම වුණත් මේ සිංදුව අහන කොට ඔයාගේ හිතේ මැවුණේ මීට වෙනස් අදහසක් වෙන්න පුළුවනි...(අහල නැත්තං අදම අහල බලන්න...මෙන්න මෙතනින්...මම මේකෙ දෙන ගොඩක් Link,Google Search Results එහෙම වෙන්න හේතුව එක එක අය සිංදු අහන්නෙ,Download කරන්නෙ වෙනස් වෙනස් තැන් වලින් නිසා.)මතක තියා ගන්න මේ මට හිතෙන හැටි මිසක් මේ සින්දුවෙ අර්ථ විවරණය නොවන වග. දහසක් ප්‍රශ්න අතර හිරවුණු මගේ හිත දැන් නිදහසේ සැරිසරනවා...හුරුබුහුටි හුරතල් සොඳුරු යුවතියකගේ සේයා මා සිතේ මැවෙද්දි හීන් නිදිමතක් නෙතට ගලා එනවා...ඒ සොඳුරු රුවැත්තියගේ මතකයන් පිරුණු සිහිනයක තනිවෙන්න මට අවසර...අදට සමු ගන්නම්...නොරිදවා නොරිදවී ජීවත් වන්න...Live & Let Live...

Monday, September 24, 2018

...උසස් දේ සරලයි...

                                 

                                             අතීත මතක අතර සැරිසරමින් ඉන්න කොට මම දහය එකොළහ වසර වල ඉඳිද්දි මගේ යාළුවෙක් වුණු ශෂික ගේ මුවේ නිතර ‍රැඳුණු වදනක් මගේ හිතට ආවා...මතෘකාව විදිහට තියෙන්නෙ ඒ වදන තමා..."උසස් දේ සරලයි..." ඇත්තටම ඒක එහෙමද?
                                            ඇත්තටම සරල බව කියන්නෙ මොකද්ද?ඒකට එක එක අය ළඟ එක එක උත්තර තියෙන්න පුළුවන්..,ඇත්තටම සරල බව කියන්නේ විස්තර කරන්න බැරි වුණත් දැනෙන දෙයක් කියලයි මට හිතෙන්නෙ...ඒ කිව්වේ අපි මොකක් හරි සරල දෙයක් දැක්කම, ඒක අපිට සරලයි කියල දැණුනට ඒක සරල වෙන හැටි විස්තර කරන්න අමාරුයි නෙ නේද?ඒක අපිට දැනෙනවා,ඒත් විස්තර කරන්න බෑ...
                                               උසස් දේ සරල වෙන හැටි ගැන මට හිතෙන හැටි මම මෙහෙම කියන්නම්...
එදා පරිගණක මුල් යුගයේ තිබූ උපකරණ වල සංකීර්ණ බව...ඒත් අද...? බාහිරව ඒ සංකීර්ණ ගතිය නැතිවෙලාම ගිහින්... ඔව් ඔව්.ඇතුලතින් සංකීර්ණයි තමා.මම මේ කියන්න හදන්නෙ සෑම උසස් දෙයකම යම්කිසි සරල කමක් තියෙන බව...


මට මතකයි ප්‍රංශ මහා ලේඛක් ඇලෙක්සැන්ඩර් දියුමා එයාගේ ශ්‍රේෂ්ටතම කෘතිය වුණු මොන්ත ක්‍රිස්තෝ සි‍ටුවරයා කතාවෙදි මෙන්න මෙහෙම කියනවා...(මම නම් කියෙව්වෙ හෙළයේ අග්‍රගණ්‍ය පරිවර්තකයා විදිහට සැලකෙන කේ.ජී.කරුණාතිලක මහත්මයාගේ පරිවර්තනය...මම කියවපු හොඳම පොත් අතර ඉහලම තැනක් මේ පොතට ලැබෙනවා)


"උපසි‍ටු තුමා මේ ලෝකේ සංස්කෘතීන් සභ්‍යත්වයන් ඇත්තටම සංකීර්ණත්වයේ සිට සරලත්වයට ගමන් කරනවා...."මට හිතෙනවා ඒ අදහසත් වැරදි නෑ කියලා...ඉස්සර සංකෘතින් වල සමහර සංකීර්ණ දේවල් අද සරලම සරල වෙලා...එදා වික්ටොරියානු සමාජයේ කාන්තා ඇඳුමයි...අද සමාජයේ කාන්තා අඳුමයි අතර කොයි තරම් නම් වෙනසක් තියෙනව්ද?අද අඳුම කොයිතරම් නම් සරලද...?



වික්ටෝරියා අත ඇරල දාමුකෝ... බලන්න සිංහල කාන්තා ඇඳුම දිහා...සංස්කෘතිය ඉහලින්ම තිබුණු හෙළ රජ දවස ඒ සරල ඇඳුමේ සිට...නිළමෙලගේ යුගයේ පැවති සංකීර්ණ ඔසරිය සාරිය හරහා වර්තමාන ඇඳුමේ තියෙන සරල බවටම පැමිණිම ම ඇති නේද උදාහරණයට...සංකීර්ණත්වය හරහා සරලත්වයට...
                                        සරල බව ගැන මට හිතෙන දේ තම ඔය...මට හිතෙන දේ...දැන් මෙතන සංස්කෘතිය විනාසවෙනවය කිය කියා රෙද්ද උස්සං දුවන් එන්න එපා...මේ මට හිතෙන හැටි... සරල බව ගැන කියපු එකේ මේකත් කියන්නම්...අන්තර් ජංජාලේ සැරිසරනකොට හම්බුණා අපූරු සරල බ්ලොග් එකක්...සරලයි...ගිහිල්ල බලන්නකො...ටකබුං බ්ලොග් එකට..ඒ ගමන්ම වර්ණ බ්ලොග් එකටත් ගිහිල්ල බලන්න...හිතට වදින දේවල් තියේවි...එහෙමනම්... අපි ගියා...නොරිදවා නොරිදවී ජීවත් වන්න...Live & Let Live

Sunday, September 23, 2018

කැකිල්ලේ රජ්ජුරුවෝ...දෙවන දිගහැරුම...

                   පළමු කොටස කියෙව්වෙ නැත්තං ඒක මෙතනින් කියවන්න...කැකිල්ලේ රජ්ජුරුවෝ...පළමු දිගහැරුම...



        මේ දෙවෙනි කොටස...


       “මහ රජතුමනි,මොවුන්ගේ අසල්වැසියා Hotel එකක් කරනවා.ඔහු ඉවත විසි කළ පාන් වගයක් නිසා මේ ගැටළුව ඇතිව තිබෙන බවයි පෙනෙන්නේ”
 නඩු භාර නිලධාරි පිළිතුරු දුන්නා
      “වහා ඒ අධමයා අල්ලාගෙන එනු”
රජතුමා රාජ පුරුෂයින්ට අණ කළා.
“මහ රජතුමනි,ඔබ තුමාට Friend Request එකක් තියෙනවා” ලද අස්වැසිල්ලේ ආවතේව රජතුමා දැනුවත් කළා.
“ කවුද? කවුද?” 
“අල්ලපු රාජ්‍යයේ අණීර්නා කුමරිය”
 Accept කරන්න එපා බන් ඔය Account එකේ Password එක අග Wife ළඟ තියෙනවා.ඒක නිසා අනිත් Account එකෙන් ගිහින් විස්තරේ Message කරලා Request එකක් දාපන්”
“මහ රජතුමනි අර පුද්ගලයා රැගෙන ආවෙමු” 
රාජ පුරුෂයෝ දැනුම් දුන්නා. 
“කෝ ඒ අධමයා ?” මහ රජතුමා ප්‍රශ්න කළා.
“එම්බා දුෂ්ට අසත්පුරුෂය,තගේ නම?”
“චන්දන බනිස්පිටිය මහ රජතුමනි”
“මේ අහිංසක යුවළගේ දිවියට කරදර දෙමින් වත්ත කූඹි වහන්නට තොප කළ මහා අපරාදයට නිදහසට කීමට ඇත්තේ කුමක් ද?”
“මහ රජතුමනි මා කළේ පාන් විිසි කිරීම පමණයි”
“තා එසේ කළේ මන්ද?”
“පිටි නරක් වූ නිසා දේවයන් වහන්ස”
පිටි නරක් වූයේ මන්ද?
ඒ ගැන මා නොදනිමි ස්වාමිනි...මා ඒ පිටි ගෙන ආවේ අමුගොඩ පිටි කඩෙන් ස්වාමීිනි...
මහ රජතුමා මොහොතක් කල්පනා කළා.
වරද මොහු අත නොවේ...රජතුමාට හැඟුණා...
“මේ අහිංසකයා අත වරදක් නැති බව පෙනේ...මේ සියල්ලටම මුල ඔය කියනා පිටි කරුවා විය යුතුයි.වහාම ඔහු රැගෙන එනු” රජතුමා නියෝග කළා...
මඳ වේලාවක් ගත වෙද්දී රාජ පුරුෂයෝ පිටි කඬේ අයිතිකරුව කුදලගෙන ආවා.
“එම්බා අසත්පුරුෂය තා මෙතනට රැගෙන ආ හේතුව තා දන්නෙහි ද?” මහ රජතුමා ප්‍රශ්න කිරීම ඇරඹුවා. 

මහ රජතුමා ගේ දඬුවම මොකක් වේවිද?ඊළඟ Post එක බලන්න...
‍රැඳී සිටින්න අප සමගම...

කැකිල්ලේ රජ්ජුරුවෝ...පළමු දිගහැරුම...


           ඉතිං...කොහොමද...? වෙනස්ම දෙයක් අරගෙන එන්නයි මේ හදන්නේ...කැකිල්ලේ රජ්ජුරුවො කිව්වම කව්ද නොදන්නෙ... ඉතිං ඒ දන්න කෙනාගෙ නොදන්න විත්ති කොටස් වශයෙන් ඔයාලට කියවන්න පුළුවන් දැන්... මේ පළමු කොටස...


                “සකල ශ්‍රී ලංකාද්වීපයටම අධිපති නෙකශ්‍රීයෙන් විරාජමානව වැජඹෙන්නා වූ ශ්‍රීමත් කැකිල්ලේ මහා රාජෝත්තමයාණන් වහන්සේ රාජ සභාවට සම්ප්‍රාප්ත වන වගයි...”

           ඝෝෂකගේ මේ හඬ ඇහුණ හැටියෙම මුලු රාජ සභාවම නිෂ්ශබ්ද වුණේ Silent දාපු Phone එකක් වගේ...අලුතින් ගත්තApple Phone  එකත් අරගෙන රාජ සභාවට ගොඩවුණු රජතුමා සිංහාසනෙන් වාඩිවුණා.

“ආවතේව...” යනුවෙන් තම අතවැසියා ආමන්ත්‍රණය කරපු රජතුමා Phone එක අතවැසියා අතට දීලා “Facebook එකේ Status එකක් දාපන් @ රාජ සභාව කියලා” යි පැවසුවේ රාජ සභාව සිසාරා නෙත් යවමින්.
“නඩු භාර නිලධාරී...”
“මහ රජ තුමනි...”
“අද මා හට පසිඳලීමට ඇත්තේ කුමන අන්දමේ යුක්තියක් ද?”
“කූඹියෝන්ගේ ප්‍රශ්නයක් මහ රජ තුමනි.”
“කූඹියෝ වනාහී ටෙලි නාටකයක් නොවේද? ඉන් කෙසේද ප්‍රශ්නයක් පැන නඟින්නේ”   මහ රජතුමා ප්‍රශ්න කළා.
“රජතුමනි, ප්‍රශ්නයක් පැනගෙන නගින්නේ කෙසේදැයි මට නොතේරේ”
“එම්බා නඩු භාර නිලධාරී....කට පරිස්ස්ම් කර ගනුව... ”
“ගැත්තාට කමාවන සේක්වා දේවයන් වහන්ස...”
“කියව”
“මෙය ලෝකයේ සැම තැනම පැතිර සිටින්නා වූ ද ගිනි කූඹි, නයි කූඹි, කලු කූඹි, විස කූඹි.....”
“ඇති ඇති කෙටියෙන් කියව”
“ඇත්ත කූඹින්ගේ ප්‍රශ්නයක් ”
“පැමිණිලිකරුවන් විත්තිකරුවන් පැමිණ සිටීද?”
“එසේය ස්වාමීනී එසේය”
“ඉදිරියට එනු”  රජතුමා අණ කළා.

එතකොට රාජ සභාවට ආවේ මැදිවියේ යුවලක්...
“දැන් කවුද පැමිණිලිකරු?,කවුද විත්තිකරු?” රජතුමා ප්‍රශ්න කරා.
“පස්වාන් දහසකට බුදුවන්ඩ දේවයන් වහන්ස, අපි තමයි පැමිණිලිකරුවෝ”
රාජ තේජසින් වෙව්ලා ගිය අසරණ යුවල වැඳ වැටුණා...
“නඩු භාර නිලධාරී...” මහ රජතුමාගේ ස්වරයේ කෝපයක් ගැබ්වෙලා තිබුණා.
“ඈ බොල තෝ කිව්වා නේද පැමිණිලිකරුවෝ විත්තිකාරයෝ දෙගොල්ලොම ඉන්නවා කියලා”
“ගැත්තාට කමාවන සේක්වා දේවයන් වහන්ස...”
“තොගේ ළඟ ඔය වචන ටික ඇරෙන්න වෙන දෙයක් නැද්ද බොල”මහ රජතුමා ගිගුරුවා...
“ගැත්තාට කමාවන සේක්වා දේවයන් වහන්ස...”
“වහපිය කට”
“කුමක්ද තොපගේ පැමිණිල්ල? වහා කියනු”
අර මැදිවියේ යුවළ මෙහෙම කිව්වා.
             “මහ රජතුමනි අපේ වත්තේ පිටිපස්සේ වැට ළඟට යන්න විදියක් නෑ.කූඹි වැහි වැහැලා.දැන් අපේ නිදන ඇඳ ළඟටත් කූඹි ඇවිල්ලා,අපි දෙන්නට මේක හරිම කරදරයක් දේවයන් වහන්ස.අපිව මේකෙන් බේරලා දෙන්න මහ රජතුමනි”

      “කවුද මේ අහිංසකයන්ට මේ වේදනාව දුන්නේ ? වහා කියනු” සංවේගයට පත් රජතුමා අණ කළා.....

අහිංසක යුවළට මේ වේදනාව දුන්නෙ කව්ද කියල අපි ඊළඟ Post එකෙන් දැනගමු....‍රැඳී ඉන්න අප සමගම...



ආදරය සුන්දර වදනකී...ලොවක් සනසන්නට හැකි...

                                                           කොහොමද ඉතින්...වෙන කවරදාවත් නොවුනු විදිහට පටන් ගන්න තැනක් හිතා ගන්න බැරුව අද මම අතරමං වෙලා.මෙ මාතෘකාවෙදි හිතට අදහස් ගලාගෙන එන වේගය බොහොම වැඩියි.ඒක හින්දා අපමණ සිතුවිලි බිහිවී තෙරපී එකිනෙක පැටලෙන්නේ...කොහොම පටන් ගෙන මොනවා ලියන්නද නැත මට වැටහෙන්නේ...එහෙම ගලාගෙන එන සිතුවිලි එකින් එක වෙන් කරල අරගෙන එකට ගලපන්න දරන මෙ උත්සාහයෙ සාර්ථක අසාර්ථක භාවය නිර්ණය කිරීම කියවන ඔබට බාරයි.

                  “ලෝකය පුබුදු වන්නට සෙනෙහස                     ඕනේ                   
                     සෙනහස නොමැති තැන ලෝකයකුත්            නෑනේ.”

                                එහෙම නේද?ආදරය සහ අපි.ඇත්තටම හරිම සංකීර්ණ මාතෘකාවක්. ආදරය කියන්නෙ මෙලොව උපදින සියල්ලන්ටම උරුම විය යුතු අත්‍යවශ්‍ය දෙයක්.මම නම් හිතන්නෙ නෑ මේ ලෝකේ කවුරුවත් ඇති කියලා අදරය සෙනෙහස අවශ්‍ය නැති."මට කාගෙවත් ආදරයක් ඕනේ නෑ.මට තනියෙන් ඉන්න පුළුවන්." මෙහෙම කියන අය ඔනෙ තරම් ඇති.ඒත් යාලුවනේ ඒක නෙවෙයි ඇත්ත.ඔය කොහොම කිව්වත්  ආදරයක් නැති තැන ජීවිතයක් නෑ.ආදරයට සංවේදී වීම මිනිස් ස්වභාවය.ඒක වලක්වන්න බෑ.තිරිසනුන්ට පවා ආදරය අවශ්‍යයි.ඒක තමයි ඇත්ත. 



                               මව් කුසින් මෙලොවට බිහිවෙන දරුවෙක් මුලින්ම ඉල්ලන්නෙ මොකද්ද?...මොනවද?...ආදරය නේද?ඔව්.අම්ම ගෙන් දරුවට ලැබෙන ආදරය මත තමා දරුවා පවතින්නේ. කිසි කලෙක වෙනස් නොවන ඒ වගේම දිවිය පුරාම රැඳෙන එකම ආදරය තමා මවකගෙ ආදරය.දෙවැනි බුදුන් ලෙස අම්මට උපමා කළේ ඒ නොසිඳෙන ආදරයේ ප්‍රබලත්වය නිසාමැයි....නුඹෙ සෙනෙහස සුවඳ දිදී දැනුනා මට අම්මේ...කපුගේ මහත්තයාගේ මේ සිංදුවෙන් ඒ ආදරයේ ප්‍රබලත්වය හොඳටම පැහැදිලි වෙනවා...




හරි හරි යාලු...කලබල වෙන්න එපා.මං තාත්තලගේ ආදරය අවතක්සේරු කරනවා නොවෙයි.ඒ ආදරයත් මුලු ජීවිත කාලය පුරාවටම පවතිනවා.හැබැයි ඒක වැඩිය දැනෙන්නේ නැහැ.හැංගිලා වගේ තමයි තියෙන්නේ.පිය සෙනෙහසට කවි ගී ලියැවුණා මදි... කියලා කිව්වේ ඒකයි.තාත්තලගේ ආදරය ගැන කතාවෙන කොට මට මතක් වෙනවා  ජෝතිපාල මහත්තයගේ ගීතයක්.මහලු මඩමක තනිවුණ අසරණ තාත්තා තමංගේ අන්තිම හුස්ම යන මොහොතෙදිත් ප්‍රාර්ථනා කරන්නේ තමංගේ පුතාට ලෝකයේ අපවාද නොලැබේවා කියායි. ලෝකයේ හොඳනම ගන්නට දරුවනි මා ලස්සන ලෙස වලදාපන්...ඒ සින්දුවෙදි කියවෙන්නේ එහෙමයි.

                                         ඊට පස්සේ ඒ කියනනේ අම්මගේ තාත්තගේ ආදරයෙන් පස්සෙ අපට  ලැබෙනවා ගුරුවරුන්ගේ ආදරය.ඒක තමයි පිටතින් නොපෙන්වන ආදරය.තමන් ගේ ශිශ්‍යයා යහ මඟට ගන්න ගුරු මවක් පියෙක් කොපමණ නම් වෙහෙසෙනවද?ඒ ආදරයත් අමතක කරන්නම බෑ.පෙර පාසල් ගුරුතුමියගෙන් අපි ලබපු ඒ ආදරය අපිට කවදාවත් අමතක වෙන්නේ නෑ.අපි පුංචි කාලේ මොකක් හරි දේකට අඬන කොට පෙරර පාසල් ගුරුතුමිය අපිව සනසවපු හැටි...මතකයි නේද?...මට මතකයි ඒ වගේ එක අවස්ථාවක මගේ ගුරුතුමියගේ ඇස් වලත් කඳුලු තිබුනා.ගුරුවරයෙක් කවමදාවත් කැමති වෙන්නේ නෑ තමන්ගෙ ශිෂ්‍යයන්ගේ ඇස් වල කඳුලු දකින්න.

                                                     මං තව මගේ අත්දැකීමක් කියන්නම්...පුරා වසර එකකුත් මාස තුනක් විතර අපේ පන්තිභාර වෙලා හිටපු අපේම ආදරණීය ගුරුතුමා විශ්‍රාම යන වෙලාවෙ කරපු කතා ව මට මතක් වෙනවා.ලේසියෙන් ඇඬෙන්නේ නැති මටත් ඇත්තටම  එදා  ඇඬුණා.මට විතරක් නෙවෙයි.මගේ යයාලුවන්ට යෙහෙළියන්ටතත් ගොඩාක් ඇඬුණා.ඒත් සර් අපිට කිව්වේ අඬන්න එපා මගේ දරුවනේ කියායි...මට මතක තියෙන විදිහට සර්ගෙ කතාවෙන් කොටසක් කියන්නම්.

                මම මේ ඉස්කෝලේ රැස්වීමක අමතන කොට පොඩි සම්ප්‍රදායක් තිබ්බා.ඒ තමයි සර් කතාව ඉවර කරන්නේ කවියකින් කියන එක...අදත් මම ඒ සම්ප්‍රදාය කඩන්නේ නෑ....මෙහෙම කියපු සර් කවිි දෙකකින් කතාව ඉවර කළා.මට ඒ කවියෙ අන්තිම පදේ විතරයි මතක...හිනැහී සමුදෙන්න මගේ ආදරණීය ළමයි... දැන් තේරෙනවා නේද? ගුරුතුමෙක් කවදාවත් තමන්ගේ ශිෂ්‍යයින්ගේ කඳුලු  දකින්න කැමති නෑ.ඒකයි  සර් අඬන අපිට හිනැහෙන්න කීවේ.අන්න ඒ නිසයි ගුරු ආදරය අපිට අමතක කරන්නම බැරි...


  හරි. ඉතින් දැන් එළඹෙන්නේ අපි හැමෝම ගොඩක් වෙලාවට පොට වරද්ද ගන්න ආදරය වෙත.ඒ කියන්නේ යොවුන් ආදරය වෙත.මේ ගැන කතා කරන කොට අපේ ගොඩක් වැඩිහිටියන්ගේ අදහසක් තමයි යොවුන් කාලයේ විශේෂයෙන්ම ඉගෙන ගන්න කාලයේ ආදරය කරන එක හොඳ නෑ කියන අදහස.ඒත් ඒක සියයට සියයක්ම නිවැරදි කියල කියන්නත් බෑ.හැබැයි ඒක වැරදිත් නෑ.මොකද පාසල් කාළේ ආදරය නිසා ජීවිතේ අනාගෙන විඳවන අය අද සමාජයේ ගොඩක් ඉන්න නිසා.


  ඒත් බුද්ධිමත්ව කල්පනා කරල යහපත් විදිහට කරනවනම් පාසල් කාළේ ආදරය ජීවිතය ජය ගන්න උදව් කරගන්න පුලුවන්.ඒ නිසා මගේ අදහස නම් පාසල් කාලේ ප්‍රේමයටත් අපේ  ජිවිත වල ඉඩක් තියෙන්න ඕනේ කියන එකයි.ඒ ගැන ඔයාලට ඔයාලගෙම පෞද්ගලික මත තියෙන්න පුලුවන්.මේ මට හිතෙන හැටිනේ.පාසල් ප්‍රේමය මිහිරි ලෙස අත්විඳින්න පුලුවන් වෙන්න ඕනේ.හැබැයි අපි මෙතනදී බොහොම පරිස්සම් වෙන්න ඕනේ.මොකද දන්නවද?..ආදරය කියන්නේ හැඟීම් මත පවතින දෙයක් නේ...එහෙම නේද? ඒක නිසා සරාගික ආදරය එහෙම නැත් නම් රාගය මිශ්‍ර ආදරයත් ඔය ආදරය තුළම පවතිනවා...


                       ඒත් පාසල් කාලේ ආදරය එහෙම වුණොත් ඒක භයානක වෙන්න පුලුවන්.මොකද අපි සමාජ සත්ත්වයන්නේ...ඒ නිසා අපි පාසල් ආදරය අත්විඳින්න ඕනේ බොහොම සංයමයෙන්.ආත්මීය බැඳීමකට ඉඩ දෙමින් ඒ ආදරය අත් විඳින්න ඕනේ.ආදරය කියන්නේ අල්ලා ගැනීමක් එහෙමත් නැත්නම් අත්පත් කර ගැනීමක්ම නොවෙයි කියන එකත් අපි වටහා ගන්න ඕනේ.ඒ වගේම තමයි අපේ මේ මාතෘ භූමිය බොහොම සදාචාර සම්පන්න සංස්කෘතියකට උරුමකම් කියන රටක්.ඒ නිසා සංස්කෘතික සම්බාධක ගැනත් හිතලා(ඒ වුණත් ඒවා මත්තෙම නැහෙන්න යන්න එපා)අවංකව තීරණ අරගෙන ආදරය කරනවනම් පාසල් කාලේ ආදරය හරිම සුන්දර අත්දැකීමක් වේවි.ඒත් මතක තියාගන්න...පාසල් කාලේ ප්‍රමුඛස්ථානය දෙන්න ඕනේ අධ්‍යාපනයට.මතකද මේ ගීතය...දෙනෝදහක් ගැවසෙන සරසවියේ පාලුව තනිකම දැනෙනවනම්...මේ ගීතයේ කතානායකයට වුණදේ තමන්ට සිද්ධ වෙන තැනට වැඩ කරගන්න එපා...ඒකයි මගේ ඉල්ලීම.මං හිතනවා මම මේ කියපු දේවල් වලින් ඔබට කුමක් හෝ දෙයක් ගත හැකි කියලා...අවසාන වශයෙන් මේ බුදු වදනත් මතක තියාගන්න...
පේමතෝ ජායතී සෝකෝ-ප්‍රේමය නිසා දුක උපදී... 
.............Live & Let Live.............

ආරම්භය...

සිතේ තෙරපෙන හැඟුම්,සිතුවිලි අකුරු කරන්නට දරන වෑයමයි මේ...