හ්ම්..කොහොමද
ඉතිං..?මැදියම් රැයට ආසන්න මේ මොහොතේ අමුතුම සීතලක් පරිසරය වෙලාගෙන තියෙනවා...රැහැයි
හඬ දෙසවන් පුරා පැතිරිලා...මේ සොඳුරු රෑ යාමේ මගේ සිතත් අවදි වෙලා...ඇත්තටම මේ වගේ
වෙලාවට තමයි යටි හිතේ සැඟවුණු සැඟවුණු සොඳුරු හැඟුම් උඩු සිතට එබිකම් කරන්නේ...රස්සාවේ
වැඩ වලින් හෙම්බත් වුණු මනසට සුවයක් දෙන්න
හිතාගෙන ගීතයක් අහන්න ගත්තා.අමරදේව මහත්තයගේ සින්දුවක්.ඔය වම්පැත්තට වෙන්න පේන්නේ
ඒ සිංදුව තමයි.
ඇඳෙන් නැගිටල ගිහිල්ල කොළයක් අරගෙන
නිකමට ගනන් හදල බැලුවා මම.මේ ලෝකේ මේ වෙද්දි දවස් 7253 ක් මම මේ මිහි තලය උඩ ගත කරල තියෙනවා...අවුරුදු 19 ක් කියන්නේ බොහොම පොඩි කාලයක් කියල හිතෙන්නෙ ඒ
වෙලාවට...
ඒ ගත කළ අවුරුදු දහ නවය පුරාවටම මම
අහපු සුන්දරතම ඒ වගේ ශෘංගාරතම ගීතය මේ ගීතය බව කිව්වොත් නිවැරදියි මම හිතන්නෙ...මේ
සින්දුව මුල්ම වතාවට අහන කොට මගේ හිතේ ඒ හැටි පැහැදිලි ගතියක් ඇතිවුණේ නෑ.ඒත් තව
දෙපාරක් තුන් පාරක් මේ සිංදුව අහද්දි තමා මට ගීතයේ කියවෙන දේ ගැන හිතෙන්න
ගත්තේ...සිංදුවෙ පද ගැලපෙන තාලයට ඒ පිළිවෙලට මගේ හිතෙත් රූප මැවුණා...බලමු ඔයාලටත්
එහෙමද කියලා...මේ මට හිතුණ හැටි.
නව යොවුන් වියේ තරුණයෙක්..තම ස්වාභාවික
රාග සිත උත්සාහයෙන් යටපත් කළ තරුණයෙක්...ඒ වගේ කෙනෙක් ගැන රූපයක් මගේ හිතේ මැවෙන්න
ගත්තා."කුමරියක පා සළඹ සැලුණා...වසා සිටි නෙතු පියන් ඇරුණා..." 'වසා
සිටි නෙතු පියන් ' ඒ කිව්වේ රාගයට කවුළු පියන් වසා සිටි
ඔහුගේ සිත ගැනද?අනේ මන්දා...මෙතුවක් කල් සමාජය හා
නොගැටි ආශාවන් වලට විවර නොවූ ඔහු සිත මේ තරුණියගේ පිය හඬින් විවර
වෙලා..."කුමර බඹසර අසපුවේ මා සමවැදි උන් දැහැන් බිඳුණා..." 'කුමර බඹසර අසපුව' හරිම ලස්සන වචනයක්...සාමාන්‍යයෙන් අහන්න ලැබෙන්නේ කුමරි බඹසර
ගැන...ඒත් මේ තරුණයාගේ හිත...? අසපුවක් වගේ...තමන්ගේ නොකැලැල් හිත
කැළඹී ගිය වග නේද මේ තරුණයා කියන්නේ අපට...
හදිසියෙම හැඟුම් අවදි වූ මේ තරුණයාට ඒ
හැඟුම් පාලනය කර ගන්න නොහැකිව අන්ද මන්ද වූ ස්වාබාවයක් තමා මටනම් දැනෙන්නේ... "උකුළ
ළැමහස මලවි කරළිය...මුවා කළ ඇගේ දුහුල් සළුතිර..." තමා දකින මේ
තරුණියගේ...ඇත්තම කිව්වොත් ඔහු මේ දකිනවා නෙවෙයි...අර සලඹ සැලෙන හඬ අනුව මේ
තරුණයාගේ හිතේ ඇතිවන හඟීම් නිසා ඔහු මනැස දකින රූපයයි මේ ඔහු මෙලෙස සිත්තම්
කරන්නේ...පුළුල් උකුළ...පිරුණු ළැම...ඔහු සිත වශී වෙලා ඉවරයි එයට...කොහොමටත් ඉතිං
කෙල්ලෙක්ගේ වඩාත්ම හඟීම් දනවන අංගයන්නේ මේවා...නේද...? මේ ගීතයේ හරිම ලස්සන රූපකයකුත් දීල තියෙනවා..."මලවි කරළිය"
මල් අවි දරන්නාගේ වේදිකාව...මල්සරා...එහෙම නැත්තං අනංගයා..(මේ දෙන්නම එක්කෙනෙක්ද
ඇත්තටම...අනේ මන්දා...? මට හිතෙන්නෙ නං එහෙම...)මේ කියන්නෙ ළැම
ගැනද…?නැත්තං වෙන තැනක් ගැනද...?ඒකනම් මටත් හරියටම අදහසක් නෑ...කොහොම වුණත්
පාසළඹ සැලෙන හඬින් ඔහු සිත මැවෙන රූපය ඉතාමත් අකර්ෂණීය බව නම් කියන්න පුළුවන්...
ඉතිං එහෙම හිතේ මැවෙන ස්ත්‍රී රූපයේ
සළු ඔහු මනසින් ඉවත් කරනවා...කොටින්ම කිව්වොත් මූ ඒ කෙල්ලව හිතින් නිරුවත් කරනවා.
"මුවා කළ ඇගේ දුහුල් සළුතිර...විවර කෙරුවා මනැස් සළෙලුන්..." මේ කියන්නේ
අර කළින් මට හිතුනු දේමද?
නැත්තන් ඇගේ දුහුල් සළුතිර විසින් ඔහු
මනසේ සැඟවී සිටි සල්ලාලයාව අවදි කළ බවද මේ කියන්නේ..ඔන්න ඔන්න... ඒ පාර මගේ හිත
මාව පටලවනවා...මම මුලින් කියපු එක හරි කියල ගන්නව...මේ මොහොතේ මේ තරුණයා සිටින්නේ
මනස නැමැති සළෙලාගේ ග්‍රහණයට අසුවෙලා...ඔහු මේ මනසින් නිරුවත් කරපු ස්ත්‍රී රූපය
ඔහු සිතට රසඳුනක්..දෙව් ලොවක් බඳු සැපක්...ඈ දෙව් ලියක් වගේ..ඔහු සිතට
දැනෙනවා...දෙව් ලොවක් හා සමාන සැපයක් මේ තරුණයා විඳිනවා මේ වෙලාවේ..."මා
අභියස මැවුණු තුසිතය...සුරන් නැලවූ ස්වයාමය..."කියල කිව්වේ ඒකයි මගෙ හිතේ.
මේ සිද්ධියෙන් පසුව මේ තරුණයාගේ සිතේ
ඇතිවූ කැළඹීම,උද්වේගය ඊලඟ පද පෙළින් හොඳට විස්තර
වෙනවා..."නිසල ජීවන තපෝ වන මැද...හැඟුම් ගජසෙන් යදම් බිඳ වැද.."ඔහුගේ
නිසංසල ජීවිතයට,ඒ තපෝ වනයට හැඟුම් නැමැති ඇත් සේනාව යදම් කඩා
බිඳ දමා වියරුව පැමිණි සැටි...යදම් ලූ ඇත් සේනාව...ප්‍රබල රාග සිත උත්සාහයෙන් දමනය
කොට මෙතෙක් වේලා රැකගත් අයුරු හඟවන සංකේතයක්ද කියලත් හිතෙනවා...පැමිණ මුලු
ජීවිතයම සලිත කර කම්පනය කර දැමූ සැටි...පෙර විඳි දෙව් සැප දැන් කොයිද...? දැන් ඉතිරිව ඇත්තේ ලතැවිල්ල පමණයි...පසුතැවීමක් විතරමයි...ඒත් ඒ
ඇයි...මට හේතු කීපයක්ම සිහියට එනවා...
තමා මෙච්චර කාලයක් ආරක්ෂා කරගත් ඒ
නිර්මල සිත...උත්සාහයෙන් රග සිත යටපත් කල ඒ අසපුව...ඉතා සුළු දෙයකින්...පාසළඹක
හඬින් පමණක් කැළඹි විසිරී කම්පනය වී බිඳී යාම නිසා ඇතිවූ ලැජ්ජාව මුසු කළකිරීමද
මේ...නො එසේ නම් රාගයේ ඉස්මත්තටම පැමිණ ඇතිවූ හතිවැටීමක් වගේ දෙයක්ද...?එහෙම දේවලුත් වෙනවනේ...ඔය අපිටත් සමහර දේවල් කරල ඉවර වුණාම ඔක්කොම එපා
වෙලා යන හැඟීමක් එන්නේ..අන්න ඒ වගේ.ඕනෙම දෙයක් ඔනෑවට වඩා එපා කියනවනේ...
මට තවත් හිතා ගන්න පුළුවන් එකම එක
හේතුවයි.ඒක ටිකක් හිනායන එකක්.මේ තරුණයා මේ ඔක්කොම දේවල් හිතා ගත්තේ,ඇඳුම් ගැලෙව්වේ,ආදරය කළේ අර කෙල්ලගේ පාසළඹ ගැටෙන හඬ
ඇහිලනේ...නමුත් ඒ කෙල්ලෙක් නෙවෙයි නම්...වෙන මොකෙක් හරි එකෙක් පාසළඹක් එහෙම නැත්තං
ඒ වගේ වෙන මොකක් හරි එකක් හොල්ලල නම්...එහෙනම් ඒ බව ඒ තරුණයා දැනගනිද්දි ඔහුට
මොනවා හිතෙන්න ඇද්ද?අපේ විදිහට කියනවනම් පොළව පළාගෙන යන්න හිතෙන්න
ඇති...නේද...?තමන් දෙව් ලොවකට උපමා කළේ මේ කොහෙවත් යන
එකෙක්ගේ හිස් සද්දයක් බව දැනුනාම...මම නම් හිතන්නේ ඒක තමයි හොඳම හේතුව.
හ්ම්...කොහොම වුණත් මේ සිංදුව අහන කොට
ඔයාගේ හිතේ මැවුණේ මීට වෙනස් අදහසක් වෙන්න පුළුවනි...(අහල නැත්තං අදම අහල
බලන්න...මෙන්න මෙතනින්...මම මේකෙ දෙන ගොඩක් Link,Google Search Results එහෙම වෙන්න හේතුව එක එක අය සිංදු අහන්නෙ,Download කරන්නෙ වෙනස් වෙනස් තැන් වලින් නිසා.)මතක තියා ගන්න මේ මට හිතෙන හැටි
මිසක් මේ සින්දුවෙ අර්ථ විවරණය නොවන වග. දහසක් ප්‍රශ්න අතර හිරවුණු මගේ හිත දැන්
නිදහසේ සැරිසරනවා...හුරුබුහුටි හුරතල් සොඳුරු යුවතියකගේ සේයා මා සිතේ මැවෙද්දි
හීන් නිදිමතක් නෙතට ගලා එනවා...ඒ සොඳුරු රුවැත්තියගේ මතකයන් පිරුණු සිහිනයක
තනිවෙන්න මට අවසර...අදට සමු ගන්නම්...නොරිදවා නොරිදවී ජීවත් වන්න...Live & Let Live...
0 comments:
Post a Comment