Friday, January 25, 2019

අනූ තුනයි අනූ පහයි




නව වසරක් එළඹීලා
තුන් දවසක් ගෙවුණු තැනේ 
හරි අපූරු සිදුවීමක්
සිදුවුණු බව කණ වැ‍ටුණේ

දකුණු ලකේ ආරම්භය
බෙන්තර ගඟ ඉස්මත්තේ  
මුළු රට වට පරසිඳු  
ඉලස්ටෝව එහි ඇත්තේ

පසුගිය ජනවාරි මාසෙ    
තුන් වැනිදා ආයතනේ     
නව වසරට අසිරි පතා  
පින්කම් සැම පැවතෙන්නේ

පංච මහා වෙහෙර වලින්   
එකකුයි අල්ලපු වත්තේ   
බෝ පුදයට සැරසී සැම   
බෙම් වෙහෙරට පිය මැන්නේ

ආයතනයෙ අධිපතිඳුන්  
ඇතුළු සැමට සුවය පතා    
හද බැතියෙන් බෝ සමිඳුන්  
පිරිත් පැනින් නහවාලා

ආයතනය දියුණු වන්න 
සේවක හැම ‍රැක දෙවන්න   
පිං ඇති බෝ සමිඳුනි ඔබ  
අසිරි දෙවා පිහිට වන්න

බෝ පුද අවසන වැඳලා 
බොහෝ දෙනෙක් පිටව ගියේ
හිත ඇති තව කිහිප දෙනෙක්
දෙව් පුදයට පිය නැඟුයේ

දොළොස් අතින් දොළොස් නෙතින්                  
දිවැස් හෙළා වැඩ සිටින්න   
කතරගමේ දෙවිඳු නමට   
පුද පූජා සිදු කරන්න

ආයතනෙට සෙත සදලා
සියළු දෙනා රැක දෙවන්න
සත් පත්තිනි දෙව් මෑණිට   
පුද පඬුරුද කැප කරන්න

ආයතනෙට ‍රැකවරණයි 
සියළු දෙනට ගන්න පිහිට
දමල ගහපු පොල් ගෙඩියත්
බිඳිල ගියා නේද දෙකට

සියල්ල නිමවී අවසන
ආයතනය වෙත ආවා
පයින් යන්න කම්මැලිකම
හින්දා වාහන හෙව්වා

අනූ තුනයි අනූ පහයි
කිලෝ වලින් මැන්න බරට
දෙන්නෙක් යනවාලු ඔන්න
මෝටර් සයිකලේ හොඳට

බර වැඩි හින්දා සයිකලෙ
ඉදිරි රෝදෙ එසවෙනවා
වීල් කරන්න ට සුදුසුම
පරිසරෙ බව වැටහෙනවා

පාර අයිනෙ පළමු වරට
උස්සල ඉස්සරහ රෝදෙ
ගැහුවා එක වීල් එකක්
අවුලක් නැහැ නොවෙද වෙන්නේ

පි‍ටුපස ආසනෙ මඟියා
බයවී බිම බහින කලට
"හා හා හිටපන්" කිව්වා
බලන් හිටපු එකෙක් අවට

දෙවෙනි වීල් එක ගහන්ට
දැම්මා වාහනෙ පාරට
මට සිලු‍ටුයි පාර පුරා
තාර දාල නිසා හොඳට

වෙර අරගෙන රේස් කරල
ඉදිරි රෝදේ එසවූවේ
ඉදිරි ලාම්පුවේ එළිය
පොල් ගස මුදුනේ වැදුණේ

සර බරාස් ඩෝං කියල
මහ සද්දයකුයි ඇසුණේ
පිටිපස්සේ සිටි මඟියා
බිමට ම පතබෑ වී තිබුණේ

දනිපනි ගා වැ‍ටුණු සැනින්
මිනිහා නැඟිටලා අවේ
ඒ වුණාට වැ‍ටුණු විදිහ
කැමරා කාචයෙ තිබුණේ

අවුලක් නෑ හොඳ වෙලාව
තුවාල නෑ සිදුවූයේ
ඒ වුණාට කලිසම නම්
දෙකටම පැළිලයි තිබුණේ

ඒ සිද්ධිය නිසා එදින
පොළව පලන් යන්න හිතුණේ
බිමටම වැටෙනව කලිසම
බෙල්ට් එක නැත්තං තිබුණේ

වටේ එවුන් හිනා වෙනවා බඩ අල්ලා             ගෙන
කැමරා එළි පත්තු වෙනවා පොටෝ         ගසන්නට
පාරේ යන්නේ කොහොමද දැන් ඇඳුම් ඉරා    ගෙන
එදා මිනිහා ගෙදර ගියේ කමිසෙන්           වහගෙන



0 comments:

Post a Comment