Tuesday, May 31, 2022

බිඳුණු හදක නැඟුණු සිතුවිලි

 

ජීවිතය මහ විහිළු සහගත යි. ඇඳට වෙලා ජනේලෙන් පේන අහස දිහා බලාගෙන මම කල්පනා කළා. අහස කළු වලාකුළුවලින් වැහිලා. ඒ අස්සේ හීනියට තරු කැට දෙක තුනක් පායලා පාළු
මකනවා. හඳේ සලකුණක්වත් පේන්න නෑ. මේ අහස දිහා බලාගෙන ඉද්දී මට ඈතින් ඇහෙන්න ගන්නවා සුනිල් එදිරිසිංහයන්ගේ ඒ ලයාන්විත හඬ.

" සඳක් නැති දා අහස් තලයට තරුව දෙයි සැනසුම්... පුන් පොහෝ දා එවන් තරුව ම ලබන්නේ ගැරහුම්..."

ඒ හඬ ඇහෙනවත් එක්ක ම හිතට සිතුවිලි මහා වේගෙන් ගලා ගෙන එන්න පටන් ගත්තා. මගේ ජීවිතෙත් හරියට මේ වගේ ම යි නේ ද? මම මගෙන් ම ප්රශ්න කර ගත්තා.

සඳ නැති දා අහසට පාළු මැකුවේ පුංචි තරුකැට. ඇත්ත ම කිව්වොත්, අහසට මේ පුංචි තරුවෙන් ඇති වැඩක් නෑ. සඳ නැති නිසා ඒ ටික වෙලාවට ළං කර ගත්තට සඳ අහසට පායපු සැණින්, අහසට තරුව අමතක වෙලා යනවා. ඒකෙ වරදක් කියන්නත් බෑ. අච්චර හොඳට එළිය විහිදුවන පුන් සඳ තියෙද්දී තරුවකින් ඇති ඵලය මොකක් ද? ඒත් හැම දා ම ත් වෙනසක් නොවී තරුව අහස වෙනුවෙන් හිටියා. සඳ පායපු දාට අමතක කළත් එ දා ත් තරුව අහසට ළඟින් ම හිටියා. ජීවිතේ හමු වුණු බොහෝ අය, සඳ එන තුරු ළඟ උන්නු තරුව එක්ක හාද වෙලා ඉන්න අහස වගේ.

මම යනු අවස්ථාවට අනුව පාවිච්චි වුණු ආදේශකයක් ම විතර යි කියන එක යළි යළිත් තහවුරු වෙන අවස්ථා එමට යි.

මිල්ටන් මල්ලවආරච්චි ආදරණීය කට හඬ මෙහෙම ගයනවා මට ඇහෙනවා.

" ඔබ පැමිණි, ඔබ ම ගියා... නැවතුන තැන මම ඉන්නම්... මගේ සහයෝගය පතන වෙලාවේ, කොහි සිට හෝ යළි එන්නම්..."

හැබෑ ම යි. තාමත් අහසට පාළු දැනුණොත් තරුව ඒ ළඟින් ම ඉන්නවා. හැබැයි, දැන් ඒ තරුව දන්නවා, තමන් නිකම් ආදේශකයක් විතර යි කියන එක. ඒ දැන දැනත්, තරුව තාමත් අහස ළඟින් රැඳී ඉන්නවා.

ගෙවුණු ජීවිතේ ආපස්සට කල්පනා කර ගෙන යද්දී හැම දේට ම, හැම දාක ම හරස් වුණු දෙයක් තිබුණ නේ ද කියල මට වැටහෙන්න ගන්නවා. මඟ හැරිය නොහැකි බාධකයක්! හැම දා ම ත් ඒ බාධකය ඉස්සරහා අන්ත අසරණ වුණා. එ දා ත් එහෙම යි. අදත් එහෙම යි. මේ රට යන විදිහට හෙටත් එහෙම වේවි. හීන දකින්න අවසර නො ලද්දෙක් ලෙස, හැඟීම් මරා දැමූ රකුසු දිවියක් ම පමණක් උරුම වේවි! අහෝ දෛවය! තොපේ කුරිරු කමට සීමාවක් නැති ද?

සිතුවිලි නිසි පිළිවෙළක් නැතුව අයාලේ ගිහින්. කවුරුන් හෝ දමා ඇති රේඩියෝවකින් ඈතින් ඇහෙන ගී රාවයන් හිතේ සිතුවිලි ඒ මේ අත විසුරුවනවා.

අනාගතයක් නැති එකෙක්... අනුන්ගේ අනාගතයන් විනාශ කරන එකෙක්... අසහනකාරයෙක්... සළෙලෙක්... සුරා සොඬෙක්...

සැරින් සැරේ අහපු, හිතේ ඇනී ගිය වදන් යළි යළිත් සිහියට නැඟෙනවා. බියර් එකක් වත් නොබොන මම සුරා සොඬෙක් වූයේ කෙලෙසැයි සිත විමසනවා. සිනහවත් කඳුළත් එකවර නැඟෙන ඒ වචන... තාමත් සමහර වෙලාවට හිත පාරනවා. මේ හැම දේට ම ත් මූලික ම හේතුව පෙර කී ඒ මඟ හැරිය නොහැකි බාධකය ම බව සෙමින් කල්පනා කරද්දී වැටහෙන්න ගන්නවා. ඒත් මේ රට යන විදිහට කවදා ඒ බාධකය ජය ගන්න පුළුවන් වෙයි ද?

පරණ ජන කවියක් මතකෙට නැඟෙනවා.

"වෙල් යායක ගොන් දෙන්නෙක් කකා වුණි
ඉන් එක ගොනෙක් වලිගය නැති ව වැනි වැනී
වලිගය ඇති ගොනා මැස්සන්ට බැට දුනී
දුප්පත්කම ත් වලිගය නැති ගොනා වැනී...
"

සමාජ තත්ත්වය, මිත්රත්වය, ආදරය... අනාගත සිහින... මේ හැම දේ කෙරෙහි ම දුප්පත්කම කොයි තරම් නම් බලපානව ද?

හීන දකින්න අවසර නො ලද්දෙමි...

ඒ සිතුවිල්ලත් එක්ක ම මෙතෙක් වේලා ඇසුණු ගී රාවය කෙමෙන් මැකී යන්න පටන් ගන්නවා... එ සේ නම් මේ නිදන්නට කාලය ද?

" අපේ අත්වැල ලිහී ගිළිහෙන මොහොත එයි කවදාක හෝ... යා යුතු ය ඒ නියත නික්මන, සියලු බැමි සිඳිනා..."

අවසන...

යා යුතු ය ඒ නියත නික්මන, සියලු බැමි සිඳිනා...

=== ==== =====

✍️ ලකී ධනංජය
2022.05.24

0 comments:

Post a Comment