අඳුරින් ම වැසී ගිය
මගේ පාළු දිවියට
පුර පසෙක සඳ වගේ
ඇය කෙමෙන් ළං වුණා...
රැය මැදියමේ
අහස් කුස එළිය කළ
පිරුණු පුන් සඳ වගේ
මගේ සිත ම සැනසුවා...
බොහෝ කලකට පසු ව
සතුට සැනසුම ලැබී
රාක්ෂස ජීවිතය
කෙමෙන් යටපත් වුණා...
කවදා වත් බෑ නුඹට
සැනසීමෙන් ඉන්න
දෛවය සෙමෙන්
මා කණට කෙඳිරුවා...
හෙතෙම සිය
අයෝමය හස්තයෙන්
මා සිතේ සැනසීම
ක්ෂණයකින් නැති කළා...
දෛවයේ නියෝගය
එලෙසින් ම ඉටු වෙමින්
ඇය කෙමෙන් මා ළඟින්
ඇදී ඈතට ගියා...
අදත් සඳ පායලා
අහස් කුස එළි වෙලා
ඒත් මගේ ජීවිතයේ
එළිය අද නැතිවෙලා...
ඉතින් සඳ උඹත් දැන්
වළා තුළ සැඟවෙයන්
පුරුදු අඳුර ම මේ
අහස් කුස රඳවපන්...
හුරු පුරුදු අන්ධකාරය
යළිත් දිවියට ඇවිත්
නිදි ගත් රකුසු වෙස්
අවදි වෙයි දෝ ඉතින්...
ලකී ධනංජය
2021.11.20
=== === ===
"මළ ගිය තැනැත්තා නැවත සොහොන් ගැබට ම යාවි; අවතාරය නැවතත් අන්ධකාරයට ම යාවි."
-මොන්ත ක්රිස්තෝ සිටුවරයා-
0 comments:
Post a Comment