කාලය මැවූ වෙනසක අරුමේ...
උදෑසන හත පසු වී මිනිත්තු පහළොවක් පමණ ගෙවී ඇති බව හෝරා යන්ත්රය
දක්වනු පෙනේ. අසල පාසලේ යකඩ කටෙන් ඇසෙන ගී නාදය අවට විසිර යයි. මම නිහඬ ව ම
අසා සිටියෙමි. යොහානිගේ හඬ ඇසෙන බැවින් නැවතත් අවධානයෙන් සවන් දුන්නෙමි. එ
සේ ය. ඒ ඇය ම ය. මම කල්පනාවට වැටුණෙමි.
මීට වසර දහයකටත් පෙර,
පාසැල් උදාසන රැස්වීමේ මා ගීයක් කියූ අයුරු මට මතක ය. ගීයක් කිව්වා මිසක
ගීයක් ගැයුවේ නැති බව කිව යුතු ම ය. බෙලෙක්කයට බොරළු ගසන්නාක් මෙන් කර්කෂ
හඬින් ගී ගැයීමට නො හැකි බව මම දැන සිටියෙමි. එහෙත් නම කියූ පසු වේදිකාවට
නො යා සිටීම ද කළ නොහැකි ය. එ බැවින් වේදිකාව වෙත ගිය මම ගීතය ආරම්භ කළෙමි.
"මේ ජීවනයේ... මුලු සංසාරේ... උදාර යි... උදාර යි... ආදරේ..."
දෙවතාවක්
පමණ ඉහත පද පේළිය කියන විට ඇතැම් ගුරුවරුන්ගේ මුව ඇදවන අයුරු පෙනුණෙන් මම
විපිළිසර වූයෙමි. එවකට දෙක වසරේ වූ මා වෙත පැමිණි ගුරුතුමියක්,
"පුතේ ඔය වගේ සින්දු ඔය වයසෙදි කියන්නෙ නෑ නේ අපි, වෙන සින්දුවක් කියන්න"
යැ යි ඉතා ම කරුණාවෙන් කියූ අයුරු මතක ය.
"මං වෙන සින්දු දන්නෑනේ ටීච..."
මගේ පිළිතුරට කෝප ගත් ඇය,
"වයසට ගැළපෙන සින්දු කියන්න ඕන, නැත්තං බැහැලා යන්න..."
ලෙස කියා මා වේදිකාවෙන් නෙරපා දැමුවා ය.
ඒ ගීතයේ ඇති වරද කුමක් දැ යි මම අද වන තුරු ද නො දනිමි. මව්ගේ ආදරය ගැන ගීයක් පාසල් දරුවෙකුට ගැයීමට නොහැකි ඇයි දැ යි මට නොතේරේ.
මතකයන් අතරින් මා මිදුණේ චර බර චර බර වැනි ශබ්දයක් ශබ්ද විකාශනයෙන් ඇසෙන්නට වූ නිසා ය.
"ට හුඩු..!"
මට කියැවිණි. මේ ඇසෙන්නේ අපූරු රැපක් නොවේ ද..?
අගෙයි, අගෙයි...
එ
දා මව් ගුණ ගීයක ආදරය යන වදන තිබූ නිසා කියන්නට නොදුන් පාසලේ, අද
ගුරුවරුන් විසින් තෝරා වාදනය කරන්නට යෙදී ඇත්තේ රැප් සංගීතය ය. අගෙයි...
කාලය මැවූ වෙනසක අරුම ය.
අප නිවසට නිතර යනෙන අප හිතවත් දහම් පාසල් ගුරුතුමෙකු විස්තර කළ අත්දැකීමක් ද මේ සමඟ මට සිහිපත් විය. ඔහුගේ වචනයෙන් ම කිවහොත්...
'ලකී, ඉස්සර අපි දහම් පාසලෙන් ට්රිප් ගියා මතක ද? ඔයා නං පොඩි යි ඒ කාලේ. ළමා සාරි, සරම් ඇඳගෙන, හරි ම ලස්සනට යන ඒ ට්රිප්වල
දී ළමයි සින්දු කියනවා. මල් සුගන්දේ වගේ සින්දුවල ඉඳලා ඕලු පිපීලා වගේ
ලස්සන සුභාවිත ගීත... ඉතින් ඒ සින්දුවල සද්දේ වැඩිවෙන කොට "ළමා...යි..."
කියල සද්දෙට කතා කරල ළමයින්ට රවලා ළමයි නිහඬ කළ එක ගුරුවරියක්, මේ
අවුරුද්දේ අපි ගිය ට්රිප් එකේ දී සුරාංගනීට මාළු ගෙනාවා සින්දුවට ඩෙනිමකුත් ගහගෙන ඩාන්ස් කරනවා... ඔන්න බලන්න ලකී කාලය මැවූ වෙනසක අරුම..."
සැබෑම ය. කාලය බොහෝ දේ වෙනස් කර ඇති බව පෙනේ. මම එය නිවැරැදි බව හෝ වැරදි බව නොකියමි. එය ඔබේ තීරණයකි. වෙනසක් ඇති බව පමණක් කියමි.
මහ
පාන්දර යොහානිගේ "යං යං හීනෙට ඇවිදන් යං" අසමින් ලියූවෙමි. හීනෙට ඇවිදගෙන
කෙසේ වෙතත් නිදාගෙන හෝ යා යුතු බව සිතමින් මෙය මුහුණු පොතට දැමූයෙමි. ඔබේ
අදහස් මට වටිනා බැවින් අදහසක් කියා යනු ඇතැ යි සිතමි.
ලකී ධනංජය
2021.12.20