ආදරය සුන්දර වදනකී...ලොවක් සනසන්නට හැකි.

ලෝකය පුබුදු වන්නට සෙනෙහස ඕනේ...සෙනහස නොමැති තැන ලෝකයකුත් නෑනේ...

කැකිල්ලේ රජ්ජුරුවෝ...දෙවන දිගහැරුම...

එදා විත්ති මෙදා තාලෙට....

...උසස් දේ සරලයි...

...උසස් දේ සරලයි...ඇත්තටම ඒක එහෙමද?

Tuesday, May 31, 2022

සදාකාලික උරුම අඳුර ම


පාළු කනත්තක
තනිව ඇවිද ගිය
අඳුරු වලාවල
නිතර සැඟව ගිය
විඩාබර මගේ සිත...

කලක් පුරාවට
සෙවූ ආලය
හමුවුණා යැ යි
සිතා සැනසුණ
නිසල මගේ සිත...

සැනසුණෙමි මම
කියා හදවත
සිතූ සැණෙකින්
බිඳී වෙන් වුණු
ආලවන්තකම්
සිතින් ඉවසන
හඬන මගේ සිත...

පැමිණි අඳුරට ම
යළිත් ඇදී යන
පෙර ඇවිද ගිය
සොහොන් පිටියෙ ම
යළිත් පිය නඟන
පාළු මගේ සිත...

සදාකාලික
උරුම අඳුර ම
මහත් දයාවෙන්
වැළඳ ගන්නෙමි
කියා පවසන
අඳුරු මගේ සිත...

🥺💔

=== === === ===


 

"මළ ගිය තැනැත්තා නැවත සොහොන් ගැබට ම යාවි; අවතාරය නැවතත් අන්ධකාරයට ම යාවි."

ඒත් මදි නම් ඉතින් දෛවය, උඹෙත් අප්පට "කවුද"කාපන්...

කලක් තිස්සේ සිතේ සැඟවුණු
සිහින මල්වල ඵල නෙළන්නට
බලා සිටියා ඇය ලැබෙන තුරු
මගේ ආලයේ සුව විඳින්නට...

සහස් සිතුවිලි සිතේ රන්දා
අහස උසට ම සිහින කැන්දා
සිතේ ජය දද කෙහෙලි බන්දා
සිටියෙ මං, නුඹ මගෙ ම හින්දා...

දෛවයේ රුදු අතුල් පහරින්
ගියේ දිවිය ම සසල වීලා
මගෙ ම වූ නුඹ මොහොතකින් මා
අතැර වෙන දෙසකට ම ඇදිලා
කවදවත් ආදරය ලබනට පිනක්
නැති බව මට ම දැනිලා
බලා උන්නෙමි මගේ ආලය
දුරක යන සැටි සෙමින් මැකිලා...



ඉතින් දෛවය;

ඉවත ඇදී යන මගේ ආලය තවත් දුරට ම එක්ක පලයන්...
ඵල නො ගන්වා මගේ සිහින මල් දෛවෙ නුඹ ඒ මකා දාපන්...
සැලෙන හදවත රිදෙන තරමට කඳුළු දුක් මට තවත් දීපන්...
ඒත් මදි නම් ඉතින් දෛවය, උඹෙත් අප්පට "කවුද"කාපන්...




==== ==== ====

✍️ලකී ධනංජය
2021.11.07


 

...සැනසෙනා අයුරු මට, කියා දෙන් සොඳුරියේ...

 ...සැනසෙනා අයුරු මට, කියා දෙන් සොඳුරියේ...

නොනැවතී ඇද වැටෙන පොද වැස්සෙ දිය වෙමින්
නෙත් පුරා ගලා යන කඳුළු යයි සැඟ වෙමින්
ගෙවෙන මුළු දිවියට ම පුරුදු වුණු තනි කමින්
සදා කල් බලා ඉමි මා සිත ම රවටමින්...

රාත්රිය ගෙවී යයි සිතුවිල්ලෙ නියැලෙමින්
දකින සිහිනයෙ පවා ඔබ හිඳී හිනැහෙමින්
නිදි වරන සිත කොනෙක යළි යළිත් ඇවිලෙමින්
ඔබ දුන්න විරහ ගිනි තිබේ හද රිදවමින්...

සැනසෙන්නෙ කොහොම මං ඔබ නැතුව මේ ලොවේ
කෙසේ පා නඟන්න ද ඔබ නොමැති දිවි මඟේ
හැර දමා ගියා සේ මොහොතකින් මගෙ සෙනේ
සැනසෙනා අයුරු මට, කියා දෙන් සොඳුරියේ...

🥺💔

✍️ ලකී ධනංජය
2021.11.07
May be an image of text

සිතේ ඇඳුණු පද

 

අඳුරින් ම වැසී ගිය
මගේ පාළු දිවියට
පුර පසෙක සඳ වගේ
ඇය කෙමෙන් ළං වුණා...

රැය මැදියමේ
අහස් කුස එළිය කළ
පිරුණු පුන් සඳ වගේ
මගේ සිත ම සැනසුවා...

බොහෝ කලකට පසු ව
සතුට සැනසුම ලැබී
රාක්ෂස ජීවිතය
කෙමෙන් යටපත් වුණා...

කවදා වත් බෑ නුඹට
සැනසීමෙන් ඉන්න
දෛවය සෙමෙන්
මා කණට කෙඳිරුවා...

හෙතෙම සිය
අයෝමය හස්තයෙන්
මා සිතේ සැනසීම
ක්ෂණයකින් නැති කළා...

දෛවයේ නියෝගය
එලෙසින් ම ඉටු වෙමින්
ඇය කෙමෙන් මා ළඟින්
ඇදී ඈතට ගියා...

අදත් සඳ පායලා
අහස් කුස එළි වෙලා
ඒත් මගේ ජීවිතයේ
එළිය අද නැතිවෙලා...

ඉතින් සඳ උඹත් දැන්
වළා තුළ සැඟවෙයන්

පුරුදු අඳුර ම මේ
අහස් කුස රඳවපන්...

හුරු පුරුදු අන්ධකාරය
යළිත් දිවියට ඇවිත්
නිදි ගත් රකුසු වෙස්
අවදි වෙයි දෝ ඉතින්...

🥺💔

✍️ ලකී ධනංජය
2021.11.20

=== === ===

"මළ ගිය තැනැත්තා නැවත සොහොන් ගැබට ම යාවි; අවතාරය නැවතත් අන්ධකාරයට ම යාවි."

-මොන්ත ක්රිස්තෝ සිටුවරයා-

බිඳුණු හදක නැඟුණු සිතුවිලි

ඉවුරු දෑලේ හිඳ බැලූ විට
ගඟ හැඩ යි කදිම යි
දියට වන් විට එවන් ගඟුල ම
බිහිසුණු යි චණ්ඩ යි...

සඳක් නැති දා අහස් තලයට
තරුව දෙයි සැනසුම්
පුන් පොහෝ දා එවන් තරුව ම
ලබන්නේ ගැරහුම්...

වියෝ වූ පසුව යි දැනෙන්නේ
ප්රේමයේ අභිමන්
හැඩූ දා කඳුළ යි දකින්නේ
සිනහවේ සරදම්...

=== === ===

ජීවිතය කියන්නෙ ම පැටලිලි ගොඩක එකතුවක් ද මන්දා... කාලයක් හැඩට පෙනුණු දේවල් දැන් වෙනස් වෙලා ද? නැත්නම් ඒ ගැන දැනෙන විදිහ වෙනස් වෙලා ද? හිතාගන්න අමාරු යි. ජීවිතය ගඟක් නම්, පිටින් බැලුව ම හරි ම සුන්දර යි වගේ පෙනුණට ඇත්තට ම ඒක එහෙම ද? විවිධ හැළ හැප්පීම් මැද ගෙවෙන ජීවිතය ඇත්තට ම චණ්ඩ ගංගාවක් නොවේ ද?

මේ සින්දුව අහද්දී හිතට ගොඩක් සිතුවිලි ගලා ගෙන එනවා. ඒ සමහරක් විකාර වගේ වෙලාවකට. කොහොම නමුත් සඳක් නැති දා අහස් තලයට ගීත ඛණ්ඩයට මං හරි ම කැමති යි. මොකද, මගේ ජීවිතයේ මං වැඩියෙන් ම මූණ දීපු අත්දැකීම් ගැන ඒ කොටසින් කියවෙන නිසා. සඳක් නැති දා අහස් තලයට තරුව දෙයි සැනසුම්...

පුන් සඳ අහසට අහිමි ව ගිය අමාවක දවසට අහසේ කොනක පෑයූ පුංචි තරුවක් අහසේ තනිකම මකනවා. ඒත් ආයෙමත් පුන් සඳ අහසට ආවම අර තනිකම මැකූ තරුවට වෙන්නේ හැංගිලා යන්න. මොකද තරුවට බෑ කවදා වත් ම සඳේ තැන ගන්න. තරුව ආදේශකයක් ම විතර යි. ජීවිතෙත් ඒ වගේ. කොච්චර උත්සාහ කළත් සඳේ තැන තරුවට ගන්න බෑ... අහසට තරුව වටින්නෙ සඳ නැති දාට විතර ම යි. ඒ වගේ සමහරුන්ට අපිව වටින්නෙත් ඒ අයගේ ජීවිතවලට පාළුවක් දැනුණා ම පමණ යි. ඒකේ වරදක් කියන්නත් බෑ. උරුම එ පමණ යි කියල හිත හදා ගන්න තරමට සැනසීම ලැබේ වි.

මේ අතරේ මගේ හිත මට කෑ ගහනවා...

"මේ විකාර හෑලි ලිය ලිය ඉන්නෙ නැතුව අතර මඟ නවත්තපු කතා ටික සම්පූර්ණ කරනව මනුස්සයෝ..."

"හා ඉතින්... ඕකට කෑ ගහන්න ඕනයැ..."

මට ම කියා ගන්න ගමන් මං පෑන අතට ගන්නවා...

✍️ ලකී ධනංජය
2021.12.11

කාලය මැවූ වෙනසක අරුමේ...

 May be a black-and-white image of 1 person, nature and skyකාලය මැවූ වෙනසක අරුමේ...

උදෑසන හත පසු වී මිනිත්තු පහළොවක් පමණ ගෙවී ඇති බව හෝරා යන්ත්රය දක්වනු පෙනේ. අසල පාසලේ යකඩ කටෙන් ඇසෙන ගී නාදය අවට විසිර යයි. මම නිහඬ ව ම අසා සිටියෙමි. යොහානිගේ හඬ ඇසෙන බැවින් නැවතත් අවධානයෙන් සවන් දුන්නෙමි. එ සේ ය. ඒ ඇය ම ය. මම කල්පනාවට වැටුණෙමි.

මීට වසර දහයකටත් පෙර, පාසැල් උදාසන රැස්වීමේ මා ගීයක් කියූ අයුරු මට මතක ය. ගීයක් කිව්වා මිසක ගීයක් ගැයුවේ නැති බව කිව යුතු ම ය. බෙලෙක්කයට බොරළු ගසන්නාක් මෙන් කර්කෂ හඬින් ගී ගැයීමට නො හැකි බව මම දැන සිටියෙමි. එහෙත් නම කියූ පසු වේදිකාවට නො යා සිටීම ද කළ නොහැකි ය. එ බැවින් වේදිකාව වෙත ගිය මම ගීතය ආරම්භ කළෙමි.

"මේ ජීවනයේ... මුලු සංසාරේ... උදාර යි... උදාර යි... ආදරේ..."

දෙවතාවක් පමණ ඉහත පද පේළිය කියන විට ඇතැම් ගුරුවරුන්ගේ මුව ඇදවන අයුරු පෙනුණෙන් මම විපිළිසර වූයෙමි. එවකට දෙක වසරේ වූ මා වෙත පැමිණි ගුරුතුමියක්,

"පුතේ ඔය වගේ සින්දු ඔය වයසෙදි කියන්නෙ නෑ නේ අපි, වෙන සින්දුවක් කියන්න"

යැ යි ඉතා ම කරුණාවෙන් කියූ අයුරු මතක ය.

"මං වෙන සින්දු දන්නෑනේ ටීච..."

මගේ පිළිතුරට කෝප ගත් ඇය,

"වයසට ගැළපෙන සින්දු කියන්න ඕන, නැත්තං බැහැලා යන්න..."

ලෙස කියා මා වේදිකාවෙන් නෙරපා දැමුවා ය.

ඒ ගීතයේ ඇති වරද කුමක් දැ යි මම අද වන තුරු ද නො දනිමි. මව්ගේ ආදරය ගැන ගීයක් පාසල් දරුවෙකුට ගැයීමට නොහැකි ඇයි දැ යි මට නොතේරේ.

මතකයන් අතරින් මා මිදුණේ චර බර චර බර වැනි ශබ්දයක් ශබ්ද විකාශනයෙන් ඇසෙන්නට වූ නිසා ය.

"ට හුඩු..!"

මට කියැවිණි. මේ ඇසෙන්නේ අපූරු රැපක් නොවේ ද..?

අගෙයි, අගෙයි...

එ දා මව් ගුණ ගීයක ආදරය යන වදන තිබූ නිසා කියන්නට නොදුන් පාසලේ, අද ගුරුවරුන් විසින් තෝරා වාදනය කරන්නට යෙදී ඇත්තේ රැප් සංගීතය ය. අගෙයි... කාලය මැවූ වෙනසක අරුම ය.

අප නිවසට නිතර යනෙන අප හිතවත් දහම් පාසල් ගුරුතුමෙකු විස්තර කළ අත්දැකීමක් ද මේ සමඟ මට සිහිපත් විය. ඔහුගේ වචනයෙන් ම කිවහොත්...

'ලකී, ඉස්සර අපි දහම් පාසලෙන් ට්රිප් ගියා මතක ද? ඔයා නං පොඩි යි ඒ කාලේ. ළමා සාරි, සරම් ඇඳගෙන, හරි ම ලස්සනට යන ඒ ට්රිප්වල දී ළමයි සින්දු කියනවා. මල් සුගන්දේ වගේ සින්දුවල ඉඳලා ඕලු පිපීලා වගේ ලස්සන සුභාවිත ගීත... ඉතින් ඒ සින්දුවල සද්දේ වැඩිවෙන කොට "ළමා...යි..." කියල සද්දෙට කතා කරල ළමයින්ට රවලා ළමයි නිහඬ කළ එක ගුරුවරියක්, මේ අවුරුද්දේ අපි ගිය ට්රිප් එකේ දී සුරාංගනීට මාළු ගෙනාවා සින්දුවට ඩෙනිමකුත් ගහගෙන ඩාන්ස් කරනවා... ඔන්න බලන්න ලකී කාලය මැවූ වෙනසක අරුම..."

සැබෑම ය. කාලය බොහෝ දේ වෙනස් කර ඇති බව පෙනේ. මම එය නිවැරැදි බව හෝ වැරදි බව නොකියමි. එය ඔබේ තීරණයකි. වෙනසක් ඇති බව පමණක් කියමි.

මහ පාන්දර යොහානිගේ "යං යං හීනෙට ඇවිදන් යං" අසමින් ලියූවෙමි. හීනෙට ඇවිදගෙන කෙසේ වෙතත් නිදාගෙන හෝ යා යුතු බව සිතමින් මෙය මුහුණු පොතට දැමූයෙමි. ඔබේ අදහස් මට වටිනා බැවින් අදහසක් කියා යනු ඇතැ යි සිතමි.

✍️ලකී ධනංජය
2021.12.20

සිතේ ඇඳුණු පද


සොඳුරිය, නුඹේ මතකය මත
චලිත වන හැඟුමන්
තුළින් හට ගෙන
රිංගා ගොස් හදවතට තට්ටු කළ
කාරුණික හැඟුමන්
ඉතාමත් ආදරෙන්
මා සිතින් ඉවත ලා
ලියමි යළි රකුසු වත

නුඹ මා වෙතින් ඉවත් ව ගිය දා
ඒ මිහිරි හැඟුමන්
නුඹ සමඟ ම නික්මුණා නම්
මෙවන් වේදනා
නොවේ කිසි දා මට
පෙර සිටි අයුරින් ම
රකුසු වෙස් ගන්නට
යළිත් සිදු වේ ය මට

එ සේ නොවුණ හොත්
මේ විඳින වේදනා
දවා අළු කර යාවි
මගේ මේ හදවත ම
එවිට
අවසන් ව යනු ඇත
දෛවයේ රඟ මඬලේ
මගේ ජවනිකාවන්

ඉඩ තැබිය නොහැකි ය එයට
මා නිසා රැකෙන වුන්
සිටිනා බැවින් මට
නික්ම යා නොහැකි ම ය
යුතුකම්, වගකීම්
තුළින් මා බැඳී ඇත
එ බැවින් සොඳුරිය,
නුඹේ මතකයන් හදවතින් කටු ගා
යළිදු අර ගන්නෙම් මම
පෙර පුරුදු රකුස් වෙස...

✍️ ලකී ධනංජය
2022.01.09

බිඳුණු හදක නැඟුණු සිතුවිලි

 

 

 

ජීවිතය පුදුමාකාර ය. අවිනිශ්චිත ය. අසංවිධිත ය. දෛවය වනාහි ඒ අසංවිධිත ජීවිතය මෙහෙයවන තීරණාත්මක සාධකය යි. ඒ දෛවය, මට අනුව නම්, අතිශයින් ම කුරිරු ය. අහෝ දෛවය! තොපට ඇත්තේ කෘරතර වූ හාස්ය රසයකැ යි මම කියමි. එ සේ ම ය.

සියල්ල පසෙක ලා එක්සිත් ව ආලය කළවුන්, එකිනෙකා කෙමෙන් මා හැර යද්දී ඔහේ බලා සිටියෙමි. එ සේ නික්ම යන ඔවුන්, අකාලයේ අභූත චෝදනා නඟනු සාවධානව අසා සිටියෙමි. ඔවුන් වෙනුවෙන් මා කළේ කුමක් දැ යි අසනා විට ඔවුන්ට අමතක මට මතක අතීතය මතකයෙන් වළලා දමන්නට උත්සාහ කළෙමි. කරන්නෙමි.

කාලයක් තිස්සේ නොකඩවා වූ මේ සිදුවීම් දැන් දෛනික චර්යාවක් සේ හුරු පුරුදු ය. කම්මලේ බල්ලාට හෙණ හඬෙහි වගක් නැති සේ ම මට ද දැන් අත හැර යාම් නොදැණෙනු ඇතැ යි සිතුවෙමි. එහෙත් දෛවය සැම විට ම නිර්මාණශීලී ය. මා රිදවනු පිණිස හෙතෙම සිය අසහාය කුරිරු නිර්මාණශීලිත්වය නොඅඩු ව ම යොදා ගන්නා බව නැවතත් වැටහෙමින් පවතී.

කිසි දා අසන්නට නොවෙතැ යි සිතූ වදන් දැන් නිතර සවන් පාරවමින් ඇසෙ යි. මම නිහඬ ව ම සිටින්නෙමි. ඔවුන් යළි කල්පනා කර බැලුවේ නම්, වරද කා අත දැ යි දකිනු ඇති බව සිතමි.

මීට වසර ගණනකට පෙර, ජීවත් වීමට ආදරය අවැසි නැතැ යි කියූ, රාක්ෂසයා යළි මම සොයන්නෙමි. එ දා සිටි පරිද්දෙන් ම සිටියේ නම් අද මෙවන් වේදනාවක් නොදැනෙනු ඇත.

එහෙත්, කාලයත් සමඟ ලැබූ අවබෝධය නම් ජීවිතයට ආදරය අවශ්ය ම බව ය. මවකගේ ආදරය, පියෙකුගේ ආදරය, වැඩිමහල් සොයුරෙකුගේ ආදරය, වැඩිමහල් සොයුරියකගේ ආදරය, රැකවරණය, සොයුරු සොයුරියන්ගේ ආදරය, ළබැඳි මිතුරු මිතුරියන්ගේ ආදරය මෙන් ම සහකාරියකගේ ආදරය ද ජීවිතයට හිමි විය යුතු ම ය. මින් ඇතැමක් ලබන්නට වාසනාවන්ත වුව ද ඇතැම් දෑ කවදා වත් නොලැබෙන බව දන්නෙමි.

එ සේ ලැබූ දෑ වෙනුවෙන් ඔවුන් වෙත මගේ ආදරණීය ස්තුතිය පළ කළ යුතු ම ය. මක් නිසා ද යත්, ඔවුන්ගේ ඒ ආදරය නොවන්නට වත්මන් මා නිර්මාණය නොවනු ඇති බැවිනි. ඔවුන් නොසිටියේ නම්, එ සේ නම් තවමත් මා තවමත් පෙර සිටි රාක්ෂසයා ම වී සිටිනු ඇත. සමාජයට වෛර කළ, අනුකම්පාව නොහඳුනන, මිත්රත්වයක වටිනා කම නොදන්නා, පළිගැනීම පමණක් ම එක ම ධර්මය කර ගත් රකුසෙක් නිර්මාණය වීම වැළකුණේ ඔවුන්ගේ ඒ ආදරය නිසා ම ය.

අදටත්, මේ වන තුරුත්, මගේ ඇතැම් මරි මොංගල් වැඩ ඉවසමින් මා වෙනුවෙන් ඉන්නා ඒ සුළුතරයට හෘදයාංගම ස්තුතිය නැවතත් පළ කරන්නෙමි.

ජීවිත ගමනේ හමුවන නොයෙක් චරිත, සිත තුළ මතකයන් පමණක් ඉතුරු කරමින් ඉවත් ව යනු අත්දැක ඇත්තෙමි. ඇතැම් මතක සිත පාරවන නමුත් ඇතැමක් සිත සැනසීමෙන් පුරවාලනු දැනේ. කෙමෙන් අමතක ව යන මතක අතර, අමතකව නොයන සැනසිලිදායක මතකයන් මවනා ඒ සුළුතරයක් වූ පිරිසට මම ද එ සේ ම සැනසිලිදායක මතකයන් පමණක් දායක කර ඇතැ යි සිතුව ද එය එ සේ නොවන බව දනිමි. මගෙන් වූ ඒ වැරැදිවලට ඔවුන් සමාව දුන්න ද මගෙන් මට සමාවක් හිමි වේ දැ යි නොදන්නෙමි. කාලය එය විසඳාලනු ඇත.

ඇතැමුන්ගේ යහපත වෙනුවෙන් මවිසින් කළ ඇතැම් චිත්තවේග පාලනයන්, එ සේ කළ අන්දම පිළිබඳ ව මම ද විමතියට පත් වෙමි. අද නොදැනුණ ද ඔවුන්ට එහි වටිනාකම අනාගතයේ දී වැටහෙන බව දනිමි.

"උඹට අනාගතයක් නැති නිසා අනෙක් මිනිසුන්ගේ අනාගතයන් විනාශ කරලා දාන්න එපා! උඹට අනාගතයක්, ජීවිතයක් නැති වුණාට අනෙක් මිනිසුන්ට තියෙනවා. උඹ ළං වෙන ළං වෙන හැම එකෙක්ට ම අත් වෙන්නෙ කාලකණ්ණිකම විතර යි!"


කලකට පෙර, එ දා සවනත වැකුණු, කිසි දා මතකයෙන් බැහැර නොවන ඒ වදන් පෙළ සත්යයක් නොකරන්නට හැකි උපරිමය කරන්නෙමි. පාලනය වන්නෙමි. කළ යුතු යුතුකම් ඉටු කර හමාර වන තුරු මේ රඟ මඬලින් ඉවත් ව යා නොහැකි බැවින්, වෙන කළ හැකි කිසිත් නොමැති නම් හුදකලාව ම තෝරා ගන්නෙමි! සුපුරුදු අඳුරට ම යන්නෙමි!

✍️ ලකී ධනංජය
2022.04.02

බිඳුණු හදක නැඟුණු සිතුවිලි

 

ජීවිතය මහ විහිළු සහගත යි. ඇඳට වෙලා ජනේලෙන් පේන අහස දිහා බලාගෙන මම කල්පනා කළා. අහස කළු වලාකුළුවලින් වැහිලා. ඒ අස්සේ හීනියට තරු කැට දෙක තුනක් පායලා පාළු
මකනවා. හඳේ සලකුණක්වත් පේන්න නෑ. මේ අහස දිහා බලාගෙන ඉද්දී මට ඈතින් ඇහෙන්න ගන්නවා සුනිල් එදිරිසිංහයන්ගේ ඒ ලයාන්විත හඬ.

" සඳක් නැති දා අහස් තලයට තරුව දෙයි සැනසුම්... පුන් පොහෝ දා එවන් තරුව ම ලබන්නේ ගැරහුම්..."

ඒ හඬ ඇහෙනවත් එක්ක ම හිතට සිතුවිලි මහා වේගෙන් ගලා ගෙන එන්න පටන් ගත්තා. මගේ ජීවිතෙත් හරියට මේ වගේ ම යි නේ ද? මම මගෙන් ම ප්රශ්න කර ගත්තා.

සඳ නැති දා අහසට පාළු මැකුවේ පුංචි තරුකැට. ඇත්ත ම කිව්වොත්, අහසට මේ පුංචි තරුවෙන් ඇති වැඩක් නෑ. සඳ නැති නිසා ඒ ටික වෙලාවට ළං කර ගත්තට සඳ අහසට පායපු සැණින්, අහසට තරුව අමතක වෙලා යනවා. ඒකෙ වරදක් කියන්නත් බෑ. අච්චර හොඳට එළිය විහිදුවන පුන් සඳ තියෙද්දී තරුවකින් ඇති ඵලය මොකක් ද? ඒත් හැම දා ම ත් වෙනසක් නොවී තරුව අහස වෙනුවෙන් හිටියා. සඳ පායපු දාට අමතක කළත් එ දා ත් තරුව අහසට ළඟින් ම හිටියා. ජීවිතේ හමු වුණු බොහෝ අය, සඳ එන තුරු ළඟ උන්නු තරුව එක්ක හාද වෙලා ඉන්න අහස වගේ.

මම යනු අවස්ථාවට අනුව පාවිච්චි වුණු ආදේශකයක් ම විතර යි කියන එක යළි යළිත් තහවුරු වෙන අවස්ථා එමට යි.

මිල්ටන් මල්ලවආරච්චි ආදරණීය කට හඬ මෙහෙම ගයනවා මට ඇහෙනවා.

" ඔබ පැමිණි, ඔබ ම ගියා... නැවතුන තැන මම ඉන්නම්... මගේ සහයෝගය පතන වෙලාවේ, කොහි සිට හෝ යළි එන්නම්..."

හැබෑ ම යි. තාමත් අහසට පාළු දැනුණොත් තරුව ඒ ළඟින් ම ඉන්නවා. හැබැයි, දැන් ඒ තරුව දන්නවා, තමන් නිකම් ආදේශකයක් විතර යි කියන එක. ඒ දැන දැනත්, තරුව තාමත් අහස ළඟින් රැඳී ඉන්නවා.

ගෙවුණු ජීවිතේ ආපස්සට කල්පනා කර ගෙන යද්දී හැම දේට ම, හැම දාක ම හරස් වුණු දෙයක් තිබුණ නේ ද කියල මට වැටහෙන්න ගන්නවා. මඟ හැරිය නොහැකි බාධකයක්! හැම දා ම ත් ඒ බාධකය ඉස්සරහා අන්ත අසරණ වුණා. එ දා ත් එහෙම යි. අදත් එහෙම යි. මේ රට යන විදිහට හෙටත් එහෙම වේවි. හීන දකින්න අවසර නො ලද්දෙක් ලෙස, හැඟීම් මරා දැමූ රකුසු දිවියක් ම පමණක් උරුම වේවි! අහෝ දෛවය! තොපේ කුරිරු කමට සීමාවක් නැති ද?

සිතුවිලි නිසි පිළිවෙළක් නැතුව අයාලේ ගිහින්. කවුරුන් හෝ දමා ඇති රේඩියෝවකින් ඈතින් ඇහෙන ගී රාවයන් හිතේ සිතුවිලි ඒ මේ අත විසුරුවනවා.

අනාගතයක් නැති එකෙක්... අනුන්ගේ අනාගතයන් විනාශ කරන එකෙක්... අසහනකාරයෙක්... සළෙලෙක්... සුරා සොඬෙක්...

සැරින් සැරේ අහපු, හිතේ ඇනී ගිය වදන් යළි යළිත් සිහියට නැඟෙනවා. බියර් එකක් වත් නොබොන මම සුරා සොඬෙක් වූයේ කෙලෙසැයි සිත විමසනවා. සිනහවත් කඳුළත් එකවර නැඟෙන ඒ වචන... තාමත් සමහර වෙලාවට හිත පාරනවා. මේ හැම දේට ම ත් මූලික ම හේතුව පෙර කී ඒ මඟ හැරිය නොහැකි බාධකය ම බව සෙමින් කල්පනා කරද්දී වැටහෙන්න ගන්නවා. ඒත් මේ රට යන විදිහට කවදා ඒ බාධකය ජය ගන්න පුළුවන් වෙයි ද?

පරණ ජන කවියක් මතකෙට නැඟෙනවා.

"වෙල් යායක ගොන් දෙන්නෙක් කකා වුණි
ඉන් එක ගොනෙක් වලිගය නැති ව වැනි වැනී
වලිගය ඇති ගොනා මැස්සන්ට බැට දුනී
දුප්පත්කම ත් වලිගය නැති ගොනා වැනී...
"

සමාජ තත්ත්වය, මිත්රත්වය, ආදරය... අනාගත සිහින... මේ හැම දේ කෙරෙහි ම දුප්පත්කම කොයි තරම් නම් බලපානව ද?

හීන දකින්න අවසර නො ලද්දෙමි...

ඒ සිතුවිල්ලත් එක්ක ම මෙතෙක් වේලා ඇසුණු ගී රාවය කෙමෙන් මැකී යන්න පටන් ගන්නවා... එ සේ නම් මේ නිදන්නට කාලය ද?

" අපේ අත්වැල ලිහී ගිළිහෙන මොහොත එයි කවදාක හෝ... යා යුතු ය ඒ නියත නික්මන, සියලු බැමි සිඳිනා..."

අවසන...

යා යුතු ය ඒ නියත නික්මන, සියලු බැමි සිඳිනා...

=== ==== =====

✍️ ලකී ධනංජය
2022.05.24